Home News උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

උතුරු කොරියාව යළිත් වරක් හඳුනා නොගත් මිසයිල අත්හදා බලා තිබේ.ඒ, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාකච්ඡා යළි ඇරඹීමට එකඟත්වය පළ කර පැය කිහිපයකට පසුව ය.උතුරු කොරියාව අත්හදා බැලූ මෙම මිසයිල හඳුනාගෙන ඇත්තේ, ජපාන වෙරළාරක්ෂක බලකාය සහ දකුණු කොරියානු හමුදාව ය.මෙම මිසයිලවල වර්ගය මෙතෙක් හඳුනාගෙන නැති නමුත් ඉන් එකක් උතුරු කොරියාවේ කන්ග්වොන් පළාතේ සිට අත්හදා බලා ඇතැයි දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළේ ය.මෙලෙස අත්හදා බැලූ එක් මිසයිලයක් ජපාන මුහුදට පතිත වූ බව ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිඩේ සුගා ප්‍රකාශ කළේ ය.

ඉකුත් සැප්තැම්බර් මස 10 වන දාට පසු උතුරු කොරියාව සිදු කළ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වන අතර අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයා වියට්නාමයේදී දෙවන වරට හමුවීමෙන් පසු උතුරු කොරියාව අත්හදා බැලූ 11 වන මිසයිලය මෙය ලෙස සඳහන් ය.උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම් හමුවේ ජපානය සහ දකුණු කොරියාව නොසන්සුන්තාවට පත්ව සිටින නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙය සාමාන්‍ය සිදුවීමක් ලෙස පවසා නොතකා හැරියේ ය.අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයින් මීට පෙර 3 වරක්ම හමුවූ නමුත් න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ සාකච්ඡා තවමත් සාර්ථකත්වයක් අත් කර ගෙන නොමැත.

Exit mobile version