Home Headlines මට ක්‍රිකට් යුද්දෙ ජයගන්න බැරි වුණාට රටේ යුද්දෙ ජයගත්තා – යුද හමුදාපති

මට ක්‍රිකට් යුද්දෙ ජයගන්න බැරි වුණාට රටේ යුද්දෙ ජයගත්තා – යුද හමුදාපති

  • මට හැමදේම හිතුවට වැඩිය කළින් ලැබුණා
  • බිග් මැච් එක ගහද්දි අයියා ඒ පැත්තෙ විකට් කීපර්. මම මේ පැත්තෙ විකට් කීපර්
  • ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න බැරි වුණාට රටට කරන්න පුළුවන් දේ  යුද හමුදාවට ගිහිල්ල කරන්න පුළුවන් වුණා
  • මම යුද හමුදාවට බැදෙන්න තීරණය කළේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන්
  • කණ්ඩායම් හැඟීම ඉගෙන ගත්තෙ ක්‍රිකට් වලින්

(සිරිනාම රාජපක්ෂ)

හැත්තෑව දශකයේ මුල් භාගයේ සිටම මාතලේ ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් නිසාම ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් මෙපිට නවතිනවා යැයි ඔහු ගැන දන්නා කිසිවෙකු සිතුවේ නැත. එහෙත් කවදා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යන ඔහුගේ සිහිනය සැබෑ නොවන ගමනට ආරම්භය දෙන්නේ 1984 මාර්තු 5 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවනවාත් සමග බව ඔහුවත් දැන සිටියේ නැත.
ක්‍රිකට් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් එදා යුද හමුදාවට බැඳුනද ඔහුගේ දක්ෂතාව හා කැපවීම නිසාම අකමැත්තෙන් හෝ ක්‍රිකට් පිටිය අතහැර යුද පිටියට ප්‍රමුඛත්වය දෙන්නට සිදුවිය.
එතැන් පටන් වඩමාරච්චි මෙහෙයුමේ සිට විවිධ යුදමය ජයග්‍රහණයන්ට උරදුන් ශවේන්ද්‍ර සිල්වා අද වන විට මෙරට හමුදාපතිවරයා පමණක් නොව රටේ ප්‍රධාන කර්තව්‍යයන් රාශියක් මෙහෙයවන රටට අවැසි පුද්ගලයකු බවට පත්ව තිබේ. මේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද දරණ වත්මන් යුද හමුදාපතිවරයාගේ අපි නොදන්න අතීත කතාවයි.

ඔබේ පාසල් දිවිය පිළිබද මතකය අවදි කළොත්..
මම ආරම්භයේදී පළමුවන හා දෙවැනි ශ්‍රේණියේ මුලික අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ. ඒකට හේතුව තමයි මගේ පියා වැඩ කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ වීම. ඔහු අනුරාධපුර ඩිපෝ කළමණාකරු වශයෙන් වැඩ කළා. තාත්තා විශ්‍රාම යන කොට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. පසුව මම මාතලේ විජය විද්‍යාලයේ පහ වසර දක්වා අධ්‍යාපනය ලබුවා.ඊට පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 වැනි පන්තියේ සිට උසස් අධ්‍යාපනය ලැබුවා.

ඔබේ පාසල් ක්‍රීඩා දිවියේ ආරම්භය සදහන් කරනවානම්..
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ගියාට පසුව තිබුණ මුල්ම නිවාසාන්තර ක්‍රීඩා තරගවලදී මට කිව්වා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා විදියට කටයුතු තරන්න කියලා. ඊට පස්සෙ අපේ නිවාසයේ නායකයා කිව්වා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා හැටියට බැට් කරමුද කියලා. මම කැමැති වුණා. අපි දෙන්නා එදා එක විකට්ටුවක්වත් නොදී අපේ ක්ලෙමන්ට් නිවාසය දිනෙව්වා.

පාසල් කාලයේ ක්‍රීඩාවක් හැටියට මුලින්ම තෝරගත්තේ මොකක්ද ?
ඉස්සරවෙලාම ක්‍රිකට් වලින් පටන් ගත්තා. ක්‍රිකට් වලින් නිවාසාන්තර තරග ගහලා පෙන්නපු දක්ෂතා නිසාම 12 න්පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා හැටියට සහ නොම්මර 4 පිතිකරුවා හැටියට මාව තෝරා ගත්තා. මට හැමදේම හිතුවට වැඩිය කළින් ලැබුණා.

ඒ මොන වගේ කාලයේදීද‍
1975 දි තමයි. ඊට පස්සෙ 12 න් පහළ සෙල්ලම් කරලා ඊළග අවුරැද්දේදී 13 න් පහළ කණ්ඩායමේ නායකයා වුණා. ඊට පස්සෙ මම වයස අවුරැදු 15 න් පහළ කණ්ඩායමේ ඉන්න ගමන්ම 19 න් පහළ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමටත් ක්‍රීඩා කළා. එහෙම ගිහිල්ලා 17 න් පහළ කණ්ඩායමේ සෙල්ලම් කරද්දී මම 19 න් පහළ කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. ඒ අවුරුද්ද 1979 හෝ 1980. ඒ අවුරුද්දෙ 17 න් පහළ සහ 19 න් පහළ කණ්ඩායම් දෙකේම නායකත්වය දැරැවා. මේක ඇහුව්වාම කෙනෙකුට පුදුම හිතෙන්න ඕන. මට හැමදේම කලින් හම්බ වුණා.

ක්‍රිකට් ක්‍රීඩාවම තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද‍ ?
විශේෂ හේතුවක් නැහැ අහුවුන ගේම ගැහුව්වා. පාපන්දු වොලිබෝල් හොකී යන ක්‍රීඩාවනුත් මම කළා. ඒත් පාසල හැරුණාම සවස 2 ඉදලා හැන්දෑ වෙනකම්ම කළේ ක්‍රිකට් පුහුණුවීම් තමයි. එතකොට ක්‍රිකට් ක්‍රිඩා කරන කෙනකුට වෙන කිසිම ක්‍රීඩාවක් කරන්න බැහැ.

ක්‍රිකට් දිවිය තුළ ඔබට මතක තියෙන තරග මොනවද ?
අපි අයත් වුණේ මධ්‍යම පළාතේ ක්‍රිකට් කණ්ඩායමට. ඒ පළාතෙන් හොදම කණ්ඩායම් දෙක තෝරලා තමයි සමස්ත ලංකා තරගවලට යවන්නෙ. එතෙක් අපේ පාසල් ඉතිහාසයේ අපි 17න් පහළ ගහන කාලයේ මාතලේ ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායම මුලු ලංකාවෙන්ම ශුරයන් බවට පත්වුණා. මම හිතන්නෙ 1979 අවුරැද්ද තමයි ඒක. ඒ අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය මුලු දවසම බැට් කරලා අපිට 232 ක් ගැහුව්වා. ඒ අවුරුද්දෙ අපේ කණ්ඩායමට කවුරුත් 200 පන්නලා ගහලා තිබ්බෙ නැහැ. කවුරුත් හිතුවෙ එයාලා දිනයි කියලා. අපි දෙවැනි දවසෙ කෑමට නවත්තලා පටන් ගත්තට පසුව විනාඩි 15කින් මැච් එක ඉවර කරනකොට අපි කඩුලු 2 කට 234ක් ගහලා දිනුවා. මට මතකක හැටියට අංක 3 පිතිකරු විදියට ගිහිල්ලා මම ලකුණු 92 ක් නොදැවී ලබාගත්තා. අනෙක් පැත්තෙ නොදැවී හිටියෙ සංජය විජේසේකර. ඔහු දැන් වෛද්‍යවරයෙක්. එයා ඉනිම ආරම්භ කරලා නොදැවී ලකුණු 50 කට වැඩිය ගහලා තිබ්බා. මාතලේ විද්‍යා විද්‍යාලයත් එක්ක බිග් මැච් එක ගහද්දි අයියා ඒ පැත්තෙ විකට් කීපර්. මම මේ පැත්තෙ විකට් කීපර්.

එදා අම්මා චියර් කළේ මොන පැත්තටද‍
දෙපැත්තටම චියර් කරන්න ඇති….

පාසල් හොකී කණ්ඩායම නියෝජනය කළා කිව්වා. කොහොමද ඒ මතකය..
හොකී ක්‍රීඩා කළත් ක්‍රිකට් තරම් තරගවලට සහභාගි වුණේ නැහැ. ඒත් අපේ ශාන්ත තෝමස් හොකී කණ්ඩායම ක්‍රිකට් වලට වඩා හොකී ජයග්‍රහණ ලැබුවා. සමස්ත ලංකා ශුරතාව හොකී ක්‍රීඩාවෙන් වැඩි අවස්ථාවක් ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යන්න බැරි වුණාට රටට කරන්න පුළුවන් දේ මට යුද හමුදාවට ගිහිල්ල කරන්න පුළුවන් වුණා.

ඔබේ පාසල් ක්‍රීඩාවේ අවසානය මතක් කළොත්
පාසල් ප්‍රධාන කණ්ඩායමට නායකත්වය දෙමින් ක්‍රීඩා කරනකොට මාව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමටත් තෝරා ගත්තා. මම තමයි පාසල් ක්‍රිකට් කණ්ඩායමට අපේ පාසලෙන් ජාතික කණ්ඩායමට පළමුවෙන්ම තේරුණේ. ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම ගිය ඉන්දියානු සංචාරයටත් මාව තේරුණා. පසුව මොකක් හරි හේතුවක් නිසා ඒ සංචාරය නැවතුණා. ඒ කාලයේ තමයි මම යුද හමුදාවට ඉල්ලුම් කළේ. මම යුද හමුදාවට බැදෙන්න තීරණය කළේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන්. මම දැනගෙන හිටියා මට ක්‍රිකට් වලින් ගොඩක් උඩට යන්න අවස්ථාව තියෙනවා කියලා.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරිවීම ගැන කණගාටුවක් දැනෙන්නෙ නැද්ද ?
ක්‍රිකට් වගේ ක්‍රීඩාවකින් මට ජාතික මට්ටමෙන් ඉදිරියට යන්න තිබුණානම් මගේ අම්මා ගොඩක් සන්තෝෂ වේවි. මගේ අම්මා තමයි මගේ සෑම තරගයක්ම බලන්න ආවේ. අපේ කණ්ඩායම සමග අම්මට එන්න බැරිවුණොත් තරගයක් අතරතුර හරි ඇවිල්ලා මම ක්‍රීඩා කරනවා බලා ඉන්නවා. ඒ කාලයේ පිට පළාත් ක්‍රිකට්වලට එහෙම තැනක් දුන්නෙ නැහැ. සනත් ජයසූරියගෙ කාලෙන් පස්සෙ තමයි පිට පළාත්වලට තැනක් දුන්නෙ. නමුත් මට ක්‍රිකට්වලින් ඉදිරියට යන්න බැරිවුණා කියලා දුක්වෙන්නෙ නෑ. හේතුව ඒ ක්‍රීඩාවෙන් වගේම රටට කරන්න පුළුවන් දෙයක් මම කරලා තියෙනවා. ඒ හා සමාන දෙයක්ම මට යුද හමුදාව මඟින් කරන්න පුළුවන් වුණා. ඒ නිසා මම කිසිසේත්ම දුක් වෙන්නෙ නෑ. ක්‍රිකට් වලින් ඉදිරියට ගියානම් මේ තරම් දෙයක් රට වෙනුවෙන් කරන්න චාන්ස් එකක් නොලැබෙන්නත් ඉඩ තිබුණා.

ඔබේ ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක නොවන ඉනිම මොකක්ද‍ ?
අමතක නොවන ඉනිම් නම් ගොඩක් තියෙනවා ඒත් එක් ඉනිමකදී මම දැවී යාම් 10 ටම කඩුලු රකින්නා විදිහට සම්බන්ධ වුණා. ඒ තරගය මොකක්ද කියලා මට මතක නැහැ. කොහොම හරි උඩපන්දු 9 ක් අල්ලලා ස්ටම්ප් කිරීමක් එක්ක තමයි ඒ ඉනිමට මම දායක වුණේ.

ඔබේ පාසල් කාලයේ අමතක නොවන වසර කීවොත්..
මගේ පාසල් කාලයේ හොදම සමය ගෙවුණේ 1981-1982 වසරවලදී. ඒ කාලයේ මම පාසලේ පුධාන ශිෂ්‍ය නායක තනතුර. 19 න් පහළ කණ්ඩායමේ නායකයා. ශිෂ්‍ය භට කණ්ඩායමේ සාජන් මේජර්වරයා ලෙසත් පාසල් තූර්යවාදක කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළා මම හොකී කණ්ඩායමේ හැර අනිත් හැම කණ්ඩායමකම එකම අවුරැද්දෙ නායකත්වය දැරුවා. පොඩි කාලේ ඉදලම තනියෙන් ගහන්න උත්සහ කළේ නෑ. කණ්ඩායම් හැඟීම ඉගෙන ගත්තෙ ක්‍රිකට් වලින්. අපිට කිසිම දෙයක් බැරි නැහැ කියලා ක්‍රීඩාව තුළින් ඉගෙන ගත්තා

ක්‍රීඩාව තුළින් ලබපු අත්දැකීම කොහොමද යුද හමුදාවට ප්‍රයෝජනවත් වුණේ
ක්‍රීඩාව තුළින් තමයි ජය පරාජය දෙකම ලබාගන්න මිනිසෙකුට ආත්ම ශක්තිය ඇති වෙන්නෙ. ගොඩක් ළමයි දිනන්න විතරයි පුරුදු වෙන්නෙ. පරදින්න භාර ගන්න බැරි තත්ත්වයක් එනවා. ක්‍රීඩාව කරන්නෙ දිනන්න තමයි පරදින්න නෙමෙයි. ජයග්‍රහණය ලබාගන්න අභියෝගවලට මුහුණ දෙන්න ඕන. පොඩි කාලේ ඉදලම ක්‍රිකට්වලදි ඉගෙන ගත්තා තමන්ගේ කණ්ඩායම බලාගන්නෙ කොහොමද කියලා. තනියෙන් ගහන්න උත්සහ කළේ නෑ. කණ්ඩායමක් වශයෙන් සමගිය ශක්තියයි කියන තේමාව අපිට අවුරැදු 12 -13 කාලයේ ඉදලම තිබ්බා. අපිට කිසිම දෙයක් බැරි නැහැ කියලා ක්‍රීඩාව තුළින් ඉගෙන ගත්තා. අඩුපාඩුකම් තිබුණා කියලා අතඅරින්නෙ නැතිව ඒවා කියවන්නෙ නැතිව ක්‍රියාවලිය සාර්ථක කරගන්න අපි ඉගෙන ගත්තා. පාසලෙන් නික්ම යන්නටත් කලින් හමුදාවට තේරුණා. යුද හමුදාවට ඉල්ලුම් කරන්නත් හේතු කාරණාව වුණේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණ නිසා. මම හිතුවේ යුද හමුදාවට ගියේ මගේ ක්‍රිකට් ගොඩක් දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. කැඩෙටින් කරපු කෙනෙක් හැටියට මට හමුදාව ගැන ලොකු අවබෝධයක් තිබ්බා. ඒ තිබුණ ලැදියාවයි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න තියෙන බලාපොරොත්තුවයි නිසයි මම යුද හමුදාවට ආවේ. යුද හමුදාවට බැදිලා යුද හමුදා විද්‍යාපීඨ කණ්ඩායමේත් නායකත්වය මම දැරැවා. ඊට පස්සෙ මම රෙජිමේන්තුවක් විදිහට තෝරා ගත්තෙ යුද හමුදාවේ පුභලතම පාබල ඒකකයක් හැටියෙට සැලකෙන ගජබා රෙජිමේන්තුවයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් යුද හමුදාවට ආපු ඔබේ බලාපොරොත්තුව කඩ වෙන්නේ කොහොමද‍ ?
ගජබා රෙජිමේන්තුවට එනකොට එහි අණදෙන නිළධාරියා විදිහට හිටියේ ලුතිනන් කර්නල් විජය විමලරත්න. මම ගජබා රෙජිමේන්තුවට ඇතුලුවුනු ගමන්ම කර්නල් විමලරත්න විසින් මාව එස්එල්ජී විශේෂ මෙහෙයුම් ඒකකයේ දෙවන ලුතිනන් වරයෙක් ලෙස පත්කළා. මම කමාන්ඩෝ වගේ කණ්ඩායමක් සමඟ යෙදෙව්වෙත් උතුරැ නැගෙනහිර යුද්ධය පැවැති පුදේශවලටයි. ඒ රාජකාරි කරන්න පටන්ගත්තම බැට් එකක් අතින් අල්ලන්න හම්බ වුණේ නැහැ. 1985 ඉදලා දිගටම මම ක්‍රියාන්විත වලට සහභාගි වුණා.

Exit mobile version