ආණ්ඩුවේ සල්ලිවලින් ට්‍රිප් යන එක් අපි නවත්තලා තියෙන්නේ – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පවසයි

තමා ඇතුළු අමාත්‍යවරුන් ජපානයට ගියේ ව්‍යාපාරිකයින්ගේ මුදලෙන් බවට කළ ප්‍රකාශය සාවද්‍ය බවත් ආණ්ඩුවේ මුදල්වලින් ට්‍රිප් යන එක නවතා දමා ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම මෙහිදී ඔලිම්පික් තරගවලදී ක්‍රීඩා කිරීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය සහිත නිල ඇඳුමක් ලබා නොදීම සම්බන්ධයෙන් වගකීම ජාතික ඔලිම්පික් කමිටුවට පැවරෙන බවත් ඒ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
‘ක්‍රීඩකයාගේ ඇඳුම සම්බන්ධ වගකීම ඔලිම්පික් කමිටුවට පැවරෙනවා, මම ඒ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවෙන් වාර්තාවක් ඉල්ලලා තියෙනවා. සමහර ක්‍රීඩකයින් ඔවුන්ගේ සුපුරුදු ඇඳුම අඳින්න ඉල්ලුවා කියලත් කියනවා. ඒක ක්‍රීඩකයාගේ ප්‍රශ්නයක්. ඒක වෙන්න දෙන්න බැහැ.
ඔලිම්පික්වලට සම්බන්ධ වුණේ මමත් රාජ්‍ය ඇමැතිතුමාත් පමණයි. අනෙක් ඇමතිවරු සම්බන්ධ වුණේ තමන්ගේ අමාත්‍යාංශවල නිල කාරනාවලට. ඉතින් එහිදී මම හිටියෙත් ඔලිම්පික් බුබුළ තුලයි. ඔබතුමාලට ප්‍රශ්නේ තියෙන්නේ රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් නම් ඔහුගේ ව්‍යාපාර දැන් අවුරුදු 25ක් පුරාවට තියෙන්නේ ජපානයේ. රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමාට වෙන ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලන්න ඕන නැහැ එතුමාගේ ටිකට් එක විතරක් නෙමෙයි මගේ ගුවන් ටිකට්පත අරන් දුන්නෙත් රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා. දැන් මෙතැන තියෙන ප්‍රශ්නේ ආණ්ඩුවේ සල්ලි ගන්නේ නැතුව පෞද්ගලික වියදමෙන් ගිය එකයි. හැබැයි වෙනදා තිබ්බ ප්‍රශ්නය ආණ්ඩුවේ සල්ලිවලින් ට්‍රිප් යන එක. අපි ඒක නවත්තලා තියෙන්නේ’ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.