ගාල්ල එදා සුද්දන්ට බෙස්ට් ප්ලේස් – මෙදා අපිට හොඳම ටෙස්ට් ප්ලේස්

පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ පැවැති ටෙස්ට් තරග හයෙන් හතරක්ම ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටත් මෙම වසරේ මෙරට තුළ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලිය සඳහාත් සත්කාරතක්වයට එම ක්‍රීඩාංගණයම තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයින් තීරණය කළේත් වසර දෙකක කාලයක සිට ගෝලීය වශයෙන් පවත්නා කොරෝනා ව්‍යසනයට පිළියමක් නිසාම නොවේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාවන්ත තත්වයක් හිමිකර දෙන ස්ථානයක් වන අයුරින් ගාල්ල ක්‍රීඩාංගණය හැසිරෙනවාය යන ජනගත මතය
මානසික පන්නරයක් ලෙස තම කණ්ඩායමට ඒත්තු ගැන්වීමටත් ක්‍රිකට් බලධාරීන් මෙවන් තීරණයක් ගෙන ඇති බවට සැළැකිය හැකිය.
එනම් ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 37න් 21ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇති අතර තරග 10ක් පරාජය වී ඉතිරි තරග 6 ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වී ඇත. ඒ අනුව ඉහත සඳහන් මතයටද යම් අගයක් දෙමින් ගාලු පිටියේ ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ ප්‍රතිශතය 56% ක් වැනි ඉහළ අගයක පවතින අතර මෙරට තුළ ඇති අනෙක් ක්‍රීඩාංගණ වලට සාපේක්ෂවද මෙකී ජයග්‍රහණ ප්‍රතිශතය කැපී පෙනෙන තත්වයකි. තවද ගාල්ල ක්‍රීඩාංගණයට වඩා ටෙස්ට් තරග සඳහා යොදාගෙන ඇති මෙරට එකම ක්‍රීඩාංගණය වන කොළඹ එස්.එස්.සී. හිදී පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යව 46ක් වන අතර එම ක්‍රීඩාංගණයේ ජයග්‍රහණ ප්‍රතිශතය (තරග-43 ජය-20 පරාජ-9 ජය පැරැදුම් නැති-14) 43%කි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙතෙක් ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් තරග 4ක් පමණක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන විට ප්‍රතිවාදීන් තරග 19කම ජය වාර්තා කර ඇත. ඉතිරි තරග 8 ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමට සමත් වී ඇති ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ හතරම මෙරට තුළදී පමණක් වාර්තා කිරීමද කැපී පෙනේ. එනම් මෙතෙක් මෙම දෙරට අතර ටෙස්ට් තරග15ක් ඕස්ට්‍රේලියාව තුළදී පවත්වා ඇතත් ඉන් තරග 13ක්ම පරාජය වී තරග 2ක් ජය-පැරැදුමෙන් තොරව නිමා කර ඇත්තේ එරට තුළදී කිසිදු ටෙස්ට් ජයග්‍රහණයක් නොමැතිවය.
ඒ නිසා ඓතිහාසික ගාලු ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වය යටතේ අද (29දා) සිට ආරම්භයෙන් ශ්‍රී ලංකාව සහභාගී වන 304වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙවත් ගාල්ලේ පැවැත්වෙන 38වැනි ටෙස්ට් තරගය සඳහා ප්‍රතිවාදීන් ලෙස ඕස්ට්‍රේලියාව සහභාගී වීමත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ බලකොටුවක්ව පැවැති ගාල්ලට අදාළ තවත් වැදගත් සිදුවීමකි. තවද මුරලි-වෝන් කුසලානය සඳහා මෙවර ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවටත් ඕස්ට්‍රේලියාවටත් අමතක නොවන ක්‍රීඩාංගණයක් වන්නේ මුත්තයියා මුරලිදරන් තම 800වැනි ටෙස්ට් කඩුල්ලත් මෑතකදී අපෙන් වෙන්වූ ෂේන් වොන් ඔහුගේ 500වැනි ටෙස්ට් කඩුල්ලත් වාර්තා කළේ මෙම ක්‍රීඩංගණයේදීම නිසාය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟද සහයෝගීතාව පවත්වාගෙන යන කළමණාකාරීත්වයක් සතු ගාල්ල ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ අනාගතයද ජයග්‍රාහී බව මුසුවූ ඉතාමත් යහපත් දිප්තිමත් එකක් වනු ඇතැයි ලැබෙන වාර්තා අනුව පැහැදිළිය. එසේ කියන්නට එක් ප්‍රධාන හෙතුවක් වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හතරේ සීමාව තුළ සැරිසරනා ක්‍රීඩකයින් ගෙන් වැඩි පංගුවක් මෙම ගාලු ක්‍රිකට් සමාජයට හෝ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයට උරුමකම් කීමයි. කෙසේ වෙතත් වර්තමානය මෙන්ම
අනාගතයද සුභදායී බවක් පෙනුණද ගාල්ල සහ ගාලු ක්‍රිකට් පිළිබඳ අතීත වංශ කතාව ජය-පරාජ, ආක්‍රමන-සංක්‍රමන හා නිමැවූ සම්පත්- සුනාමි විපත් යන සියළු ක්‍රියාදාමයන් ගෙන් පිරී ගිය අමිහිරි-රසවත් දෙමුහුන් එකකි. ලෝක උරුමයක් නම් සහතිකය ලත් පරිශ්‍රයක් තුළ මෙරට පිහිටි එකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයද ගාල්ල ක්‍රීඩාංගණයයි. එනිසාම ගාල්ල ක්‍රීඩාංගණයේදී දැන් බිහිවන ක්‍රිකට් වාර්තා වලට වඩා එදා පෘතුගීසින්, ලන්දෙසීන් හා ඉංග්‍රීසීන් ගාල්ල අල්ලා ගන්නට කළ සෙල්ලම් වල වාර්තා ඉතා රසවත්ය.

පෘතුගීසි මුහුදු කපිතාන්වරයෙකු වූ ලොරන්ස්කෝ ද අල්මේදා 1505දී වෙළඳ සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් මාලදිවයිනේ ගවේෂණය සඳහා යවන ලදී. කෙසේ වෙතත්, ප්‍රතිවිරුද්ධ සුළං හේතුවෙන්, අල්මේදාගේ යාත්‍රාව ගාලු වෙරළ දෙසට ඇද වැටුණි. එතැන් සිට පෘතුගීසීන්ගේ බැල්ම ගාල්ල දෙසට යෙමු වුණි. ගාල්ලේ රැකවරණය ලබා ගත් පෘතුගීසීන් 1588 දී සැන්ටා කෲස් ද ගේල් නම් බලකොටුවක් ගොඩනඟා ගත්හ. 1640 දී මහා වටලෑමෙන් අනතුරුව ගාලු නගරය ලන්දේසීන් අතට පත්වීමෙන් පසු සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිස්ථාපනය කරන ලද අතර එදා පෘතුගීසීන් කළ ඉදිකිරීම් පිළිබඳ අද බොහෝ දේ ඉතිරිව නැත.

ගාලු කොටුවේ මෙම දුෂ්කර ජයග්‍රහණයත් සමඟ ලන්දේසීන්ට විශාල වරායක් සහ නාවික කඳවුරක් වෙත ප්‍රවේශය ලැබුණි, එය ඉන්දියාවේ ගෝව ප්‍රාන්තය අවහිර කිරීමට සහ දකුණු ඉන්දියාවේ පෘතුගීසි බලකොටුවලට පහර දීමට ඔවුන්ට සහාය විය. දකුණු ශ්‍රී ලංකාවේ ඉහළම ආදායමක් උපයාගත් වටිනා කුරුඳු ඉඩම්වල පාලනය ද ඔවුන් සතු විය. 1656 දී කොළඹ අල්ලා ගන්නා තෙක් ගාල්ල ශ්‍රී ලංකාවේ ලන්දේසි මූලස්ථානය බවට පත් විය. ගල් හා කොරල්පර වලින් ඉදිකරන ලද නව බලකොටුව ලන්දේසීන් විසින් ගාලු තුඩුව ලෙස නම් කරන ලද අතර එය අද දක්වාම පවතී.
පෘතුගීසීන් මෙන් නොව, ලන්දේසීන් ගාල්ලේ උපායමාර්ගික සහ ආර්ථික වටිනාකම් පිළිබඳව ඇස් යොමා සිටි අනෙකුත් යටත් විජිත බලවේගවලට එරෙහිව තම ස්ථානය ආරක්ෂා කර ගැනීමට අපේක්ෂාවෙන්, අපරාජිත බලකොටු ඉදිකරමින් මුළු අර්ධද්වීපයම වට කිරීමට තීරණය කළහ.
එහෙත් 18වැනි සියවස වන විට ලන්දේසීන්ගේ සියලු බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය. මහා බ්‍රිතාන්‍යය 1796 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම ආරම්භ කළ අතර, ඔවුන් යම් කුඩා ප්‍රතිරෝධයන් සහිතව දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල පදිංචි විය. ගාලු කොටුව බ්‍රිතාන්‍යයන් අතට පත් වූයේ මේ කාලයේදීය. 1802 දී, ඇමියන්ස් (Amiens) ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස, ලන්දේසීන් ශ්‍රී ලංකාවේ ඔවුන් අල්ලාගෙන සිටි කොටස්වල පාලනය බ්‍රිතාන්‍ය පාලකයින්ට පවරා දෙන ලදී. කොළඹ බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ප්‍රධාන මූලස්ථානය වුව ද ගාලු කොටුව දිවයිනේ දකුණේ පරිපාලන මධ්‍යස්ථානයක් විය. බ්‍රිතාන්‍යයන් බලකොටුවෙහි ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යම් යම් වෙනස්කම් සිදු කරන ලදී.

බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලද වෙනස් කිරීම් ඉතා අල්ප වූ බැවින්, ගාලු ලන්දේසි බලකොටුව තවමත් එහි මුල් සැලැස්මෙන් වැඩි කොටසක් රඳවා තබා ගෙන ඇත. එය දකුණු සහ අග්නිදිග ආසියාවේ යුරෝපීයයන් විසින් ඉදිකරන ලද බලකොටු සහිත නගරයක හොඳම උදාහරණවලින් එකක් ලෙස සලකනු ලබයි. ඒ අනුව ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ ගාල්ල ක්‍රීඩාංගණය 1876 දී තුරඟ තරග සඳහා ඉදිකරන ලදී. 1892 දී එවකට ගාල්ල මහ නගර සභාවේ ලේකම්ව සිටි පී.ඒ. ටෙම්ප්ලර්ගේ යෝජනාවකට අනුව ප්‍රධාන ක්‍රීඩාගාරයක් ඉදිකරන තුරු ස්ථිර ක්‍රීඩා මණ්ඩපයක් තිබුණේ නැත. අවසානයේ තුරඟ තරගවලට වඩා ක්‍රිකට් තරග සඳහා මෙම ක්‍රීඩාංගනය භාවිත කරන්නට විය.

1888 මැයි මස සිට ‘ගාලු එස්ප්ලැනේඩ්’ (Galle Esplanade) ලෙසින් හඳුන්වන ලද මෙම ස්ථානයේ පළමු පාසල් ක්‍රිකට් තරඟය පැවතියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ලේ සියලුම සාන්තුවරයන්ගේ විද්‍යාලය අතරය. රිච්මන්ඩ්-මහින්ද වාර්ෂික ක්‍රිකට් හමුව 1905 දී මෙම ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර එය වසර 100 කට වැඩි කාලයක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාවේ දීර්ඝතම පාසැල් ක්‍රිකට් තරඟාවලියයි. 1927 දී මෙම ක්‍රීඩාංගණය නිල වශයෙන් ක්‍රිකට්
ක්‍රීඩාංගනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

1984 පෙබරවාරි 29 වන දින මෙම ක්‍රීඩාංගණයෙහි ප්‍රථම පළමු පෙළ තරගය පැවැත්විණි. එවකට ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලේකම්ව සිටි ධනපාල ලොරෙන්සු හේවාගේ මඟපෙන්වීම යටතේ 1945 දී තණතීරුවක් (turf wicket ) මෙම ක්‍රීඩාංගණයට හඳුන්වා දෙන ලදී. මේ සඳහා කොළඹ ක්‍රිකට් සමාජයේ සහයද ලබා ගත් බව සඳහන්ය. තවද ගාලු ක්‍රිකට් සමාජ මණ්ඩපය මීට පෙර ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය වූ අතර 1955 සැප්තැම්බර් 18 වන දින එය විවෘත කරන ලදී. මෙය ඉදිකර ඇත්තේ ගාලු ක්‍රිකට් සමාජය විසින් සංවිධානය කරන ලද ලොතරැයියකින් එකතු
කරන ලද මුදලින් වන අතර මෙම මණ්ඩපය ඉදිකිරීම සඳහා එවකට ගාල්ල ජිම්කානා සමාජයද විශාල දායකත්වයක් ලබා දුන් බවටද වාර්තා වී ඇත..
පසුව හෙක්ටයාර 4.216 ක වපසරියකින් යුක්ත මෙම ගාල්ල ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන්ට අනුව උසස් කරන ලද අතර ශ්‍රී ලංකාවේ හත්වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත් කළේය. ඒ අනුව පළමු ටෙස්ට් තරගය 1998 ජූනි 3 වන දින ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙම ක්‍රිකට් පිටියේදී පැවති අතර ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 16 ක ජයක් හිමි විය. පළමු එක්දින තරගය 1998 ජූනි 25 වන දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණද, ඊට පෙරදා රාත්‍රියේ හා එදින අලුයම ඇද හැලුණු අධික වර්ෂාවෙන් ක්‍රීඩාපිටිය ජලයෙන් යටවීම හේතුවෙන් තරගය අත්හැර දමන ලදී.

එහෙත් එතැන් සිට වසර 6ක් ගතවූ දිනය ගාල්ල ක්‍රීඩාංගණයේ පමණක් නොව මුළු ආසියාතිකරයේම ඉතිහාසය වෙනස් කළ දිනයක් විය. එනම් 2004 දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් මනරම් ගාලු ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් වාගේ විනාශ විය. එහෙත් මෙම ක්‍රීඩාංගණය යළි යථා තත්වයට පත්කිරීමේ කටයුත්තේදී නැති ප්‍රශ්න ඇතිවෙන්නට පටන් ගත්තේය. ප්‍රධාන වශයෙන්ම වෙරළ තීරයේ ඉදිකිරීම් සඳහා පනවා ඇති යම් යම් සීමා කිරීම් හේතුවෙන් මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා රජය විසින් නැවත
සලකා බලා තිබුණි. ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයක ඉදිකිරීමටද යෝජනා ඉදිරිපත් කර තිබුණි.
මේ අතර ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවූ විපත කණවැටුණ වහාම එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක ඉයන් බොතම් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වූ ෂේන් වෝන් දෙදෙනා ගාල්ලට පැමිණියහ. ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණය තිබූ පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු කොට එම ස්ථානයේම ඉදිකළ යුතු බවයි. හේතුව ඔවුන් ඉක්මනින් දිව ආවේ සුනාමියෙන් විනාශ වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිසාම නොවේ. 19වැනි සියවස ආරම්භයේදීම ඔවුන්ගේ ඥාතීන් විසින් අත්පත් කර ගන්නා ලද උරුමයක් අභියස ක්‍රීඩංගණයක් විනාශයට පත්වූ නිසාය. අනෙක ගාල්ල ඔවුන්ගේ ආධිපත්‍යයක් ලෙස තිබූ ස්ථනයක් බව අද සිටින නොදන්නා අයටද ඒත්තු ගැනවීමටද වන්නට පුළුවන. යම් දිනයක නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගණයට සතුරු උවදුරක් පැමිණිය හොත් බ්‍රිතාන්‍යයේ සුදු මහත්වරුන් මෙහි දිව එන්නට ඉඩ තිබේ. හේතුව ලන්දේසීන් පළවා හැර ඔවුන් යටතට ගාලු පුරවරය පත්වූවාට පසුව කාලයේ ගාල්ල වරායෙන් ගොඩ බසිනා බ්‍රිතාන්‍ය සුදු මහත්වරුන් නිවාඩු ගත කරන කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේ මෙම ගාලු පිටිය යොදා ගනිමින් බවට ජනප්‍රවාදයේ සඳහන්ය. එසේම රදැල්ල ක්‍රීඩංගණයද එකල බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඉදිකරන ලද බවද පැවැසේ.
කෙසේ වෙතත් අවසන් තීරණය වූයේ පවතින ක්‍රීඩාංගනයම ප්‍රතිසංස්කරණය කිරීමටයි. ප්‍රතිසංස්කරණය කිරීමේ වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් (රු. 500,000,000) බවට ඇස්තමේනුතු කිරීමෙන් අනතුරුව එංගලන්තයේ සරේ ප ්‍රාන්ත ක්‍රිකට් සමාජයෙන් සැලැකිය යුතු සහයක් ලබා දීමත් සමඟ ජාත්‍යන්තර සහයෝගය ලැබිණි. මීට අමතරව, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව) සහ ඉයන් බොතම් (එංගලන්තය) ද කැපී පෙනෙන මූල්‍ය දායකත්වයක්ද ලබා දුන් බව පැවැසේ. ඒ අනුව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීම 2006 මැයි 8 වන දින ආරම්භ විය. නව ක්‍රීඩා මණ්ඩපයක් සහ මාධ්‍ය මධ්‍යස්ථානයක් සමඟ නව ගොඩනැගිලි රාශියක් අදාළ ප්‍රතිසංස්කරණයන්ට ඇතුළත් විය. නරඹන්නන් සඳහා ආසන ධාරිතාව ද වැඩි කරන ලදී.
ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාංගණය 2007 දෙසැම්බර් 17 නැවත විවෘත කිරීමෙන් පසු එදිනම පළමු ටෙස්ට් තරගය පැවැත්වූයේද ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවට 1948 දී ගාලු ක්‍රීඩාංගනයේ අයිතිය ලබා දුන් එංගලන්තය අතර වීමද විශේෂත්වයකි.
2004 සුනාමියෙන් විනාශයට පත් වූ පසු නැවත ඉදිකිරීම් වලදී ගොඩනඟන ලද ආසන 500 ක ක්‍රීඩා මණ්ඩපය ඇතුළුව, ඒ අසල අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගාලු බලකොටුවට යුනෙස්කෝ ලෝක උරුම තත්ත්වය අහිමි වීමේ අවදානමක් පවතින බව එවකට මෙරට ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශ වුවද පසුව එම ගැටළු සමථයකට පත්විය. මේ අතීත කතාවේ අත්දැකීම් වර්තමානයේ මෙරට ක්‍රිකට් කරවන පාලකයින් මෙන්ම ගාලු ක්‍රිකට් සමාජයේ වත්මන් පාලකයින්ද ආරෝපනය කරගන්නේ නම් දකුණට මෙන්ම උතුරටත් මුලු රටටත් යහපත් ක්‍රිකට් අනාගතයක් ගොඩනැඟිය හැකි වනු ඇතැයි මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. එබැවින් ලෝක උරුමයක් ස්පර්ශ කරගෙන සිටිනා මෙම ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණය යොදා ගනිමින් ක්‍රිකට්-සංචාරක ව්‍යාපාර බහු-කාර්ය සංකල්පය ප්‍රවර්ධනය කළහොත් ගාලු පුරවරය මෙරට තුළ තවත් ආර්ථික මරමස්ථානයක් වනු ඇත. කෙසේ වෙතත් මෙම සංකල්පය බලගැන්වීමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය දැනටමත් සැළැසුම් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇති අතර අද රට පත්වී ඇති තත්වය දෙස බලන විට එය ඔබටත් අපටත් සුභ ආරංචියකි.

සිරිනාම රාජපක්ෂ