ගුරු වැටුප් ගැටලුව ලබන සතියට කල් යයි

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී පොරොන්දු වී තිබේ. මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා බවද අගමැතිවරයා සඳහන් කළේ ය.

එසේ වුවද රටේ පවතින ආර්ථික තත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් ,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, වෛද්‍ය රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේම ජයන්ත සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ,ගුරු හා විදුහල්පති සංගම් නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සංගම් නියෝජිතයෝ පිරිසක් ද මෙම හමුවට සහභාගී වුහ .