නිරිතදිගට සහ බස්නාහිරට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නිරිතදිග සහ බස්නාහිර ප්‍රදේශවලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩිතද වැසි ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි ජනතාවට දැනුම් දී තිබේ.
මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බවද එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවන පිරිස් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.