සටන උත්සන්න වෙද්දී යුක්රේන් ජනපතිගෙන් පුටින්ට පණිවුඩයක්

  • රුසියානු හමුදාවේ 800 ක් මියයති

සටන් විරාමයකට යොමු වී වහාම සාකච්ඡා මාර්ගයකට පිවිසෙමු යැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එරට රූපවාහනි මාධ්‍ය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. යුක්‍රේනය ආරක්ෂා කර ගැනීමට හුදෙකලා සටනක නිරත වීමට සිදුව ඇති බව ද යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෙහිදී ජාතිය අමතමින් පැවසීය.

මේ අතර යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර කලාපය දරුණු ගැටුම්වලින් පසු රුසියානු හමුදාව විසින් යටත් කර ගනු ලැබූ අතර, යුක්රේනයේ හඳුනා ගත් ස්ථාන 83කට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිළ වශයෙන් ප්‍රකාශ කර තිබේ.

කියෙව් නගරය බලා රුසියානු හමුදා පැමිණි ගමනේදී රුසියානු හමුදාවේ 800 ක් මරණයට පත්වූ බවත් යුද ටැංකි 30 ක්, සන්නද්ධ රථ 130 ක්, ප‍්‍රහාරක හෙලිකොප්ටර් 06 ක් සහ යුද ගුවන් යානා 07 ක් විනාශ කළ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සිවිල් වැසියන් 137 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 300කට වැඩි සංඛ්‍යාවක් තුවාළ ලබා ඇති බවත් තවමත් රුසියානු ආක්‍රමණය සිදු වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

තමන් හා තම පවුලේ සාමාජිකයන් සතුරු පාර්ශ්වයේ ඉලක්කය වී ඇති බවත් රටේ නායකයා ඉලක්ක කරමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ යුක්‍රේනය විනාශ කර දැමීම බවත් යුක්‍රේන ජනාධිපතිවරයා ජනතාව අමතමින් පැවසීය.

නේටෝව, යුරෝපා සහ බටහිර රටවල දැඩි බලපෑමක් එල්ල කරන පසුබිමක වුවත් රුසියාව යුක්‍රේනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් පවතී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් අමතමින් සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසත් මේ ප්‍රහාර මාලාව නවතන ලෙසත් ආයාචනා කර තිබිණි.

මේ අතර අමෙරිකාව උත්සාහ දරන්නේ රුසියාවට එරෙහි සයිබර් ප්‍රහාරයක් මඟින් මේ ගැටුම පාලනය කිරීමටයි. එමඟින් යුක්‍රේනයේ සටන් කරන රුසියානු හමුදාවන්ට අවශ්‍ය අමතර පහසුකම් හා භට පිරිස් ප්‍රමාද කිරීම ඔවුන්ගේ අරමුණයි. ඒ අනුව රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයත්, විදුලිබල පද්ධතියත් තවත් ප්‍රධාන මර්මස්ථාන රැසක් සයිබර් ප්‍රහාරයේ ඉලක්ක වී තිබේ.

මේ අතර තවත් 7,000ක අමෙරිකානු භට කණ්ඩායමක් ජර්මනියට යවා ඇති අතර නේටෝ සංවිධානයේ කොටසක් වන බෝල්ටික් කලාපය වෙතද අමෙරිකානු හමුදා භටයින් 800ක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවට එරෙහිව බරපතළ සම්බාධක පැනවීමට අමෙරිකාව ඇතුළු ජී7 රටවල් ඊයේ තීරණය කළේය.