අහිම්සා වික්‍රමතුංග ගොනුකළ චෝදනා ඇමරිකානු අධිකරණයෙන් ඉවතට

සන්ඩේ ලීඩර් හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ පැවරූ නඩුව  ප්‍රතිෂේප කර අත්හිටුවීමට එම අධිකරණය තීන්දු කර තිබේ.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

හිටපු සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවේ ඝාතන, මනුශ්‍යත්වයට එරෙහි අපරාධ සහ වදහිංසා යන චෝදනා යටතේයි.

2011 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ යුද සමය අවසානයේ සිදුවූ සිවිල් වැසියන් ඝාතනය වීම් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර ඇති බවත් එම සාහසික වැඩපිළිවලේ නිර්මාතෘ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් නඩුව ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම පැමිණිලිකාර අහිම්සා වික්‍රමතුංග මහත්මියගේ පියා වන ලසන්ත වික්‍රමතුංග මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට තර්ජනයක් සේ දුටු බැවින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන් බවත් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවීම වැළැක්වීමට කටයතු  කළ බවත් පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කර තිබුණි.

කෙසේවෙතත් කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදුකිරීම සඳහා අධිකරණමය බලයක් නොමැති බැවින් නඩුව සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට මෝසමක් ගොනු කළේය.

ඒ අනුව එම මෝසම සළකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණ විසින් පසුගිය 17 වනදා ලබාදෙනු ලැබුවේය.

තීන්දුවේ දැක්වෙන්නේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් චෝදනා ගොනු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල මට්ටමින් ක්‍රියාත්මක කළ ක්‍රියාකලාපයකට එරෙහිව වන බවයි.

ගෝඨාභය රාජපක්ෂ , ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් සෘජූ පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් චෝදනාව පදනම් වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටුකළ භූමිකාව සම්බන්ධයෙන් වන බවත් අධිකරණ තීන්දුවේ පෙන්වා දී තිබේ.

එය විදේශීය රාජ්‍ය නිලධාරියෙකුගේ නිල රාජකාරි කටයුත්තක් වන බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ප්‍රතිපත්තිය වන්නේ එවැනි අවස්ථාවකදී ඔහුට රාජකාරි මුක්තිය හිමිවන බව පිළිගැනීම බවත් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණ තීන්දුවේ සඳහන්ය.

එම නෛතික හේතුව නිසා ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ඉදිරියට රැගෙන යාමට මෙම අධිකරණයට අධිකරණමය බලයක් නොපැවරෙන බැවින්  නඩුව ප්‍රතිෂේප කර අත්හිටුවීම සඳහා තින්දු කරන බව අධිකරණය සඳහන් කර තිබේ.