ඇමරිකන් මෙහෙයුමෙන් සුනඛයකු සහ බයගුල්ලකු ලෙස මියගිය අල්-බග්දාදි

ලංකාවේ වේලාවෙන් ඔක්තෝබර් 27 වනදා දහවල් වෙද්දී ත්‍රස්ත නායක අබුබකර් අල්-බග්දාදි මියගොස් ඇතැ යි වාර්තා පළ වෙන්නට පටන් ගත්තා. ඇතැම් වාර්තා අනුව කියැවුණේ අල්-බග්දාදි විශේෂ බලකා ප්‍රහාරය හමුවේ පුපුරන ද්‍රව්‍ය කබායක් පුපුරවාගෙන දිවි නසාගත් බවයි. අනෙක් සමහර වාර්තාවලින් අල්-බග්දාදි වෙත පහර දුන් නමුත්, ඔහු මියගියේ ද යන්න තහවුරු කළ නොහැකියැ යි කියැවුණා.

ඔක්තෝබර් 27 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30ට පමණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ප්‍රහාරය පිළිබඳ විස්තර කළා.

ට්‍රම්ප් සඳහන් කළේ ඔවුන් සති කිහිපයක සිට අල්-බග්දාදිගේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි බව යි. මීට පෙර අවස්ථා කිහිපයකම ඔහු වෙත පහර දීමට සලකා බැලූ නමුත්, අල්-බග්දාදි අවසන් මොහොතේ සිය සැලසුම් වෙනස් කළ හෙයින් ඔවුන්ගේ සැලසුම් ද වෙනස් කිරීමට සිදුවූයේයැ යි ට්‍රම්ප් කියා සිටියා.

අල්-බග්දාදි ඉලක්ක කර සිදුකෙරුණ ප්‍රහාරයේ අපහසුම අවස්ථාව වූයේ එම ස්ථානයට ළඟා වීම බව යි ට්‍රම්ප් සඳහන් කළේ. ප්‍රහාරය දියත් කළ ඩෙල්ටා ෆෝර්ස් කණ්ඩායම ඇතුළු ඇමරිකානු පිරිස හෙලිකොප්ටර් අටකින් එම ප්‍රදේශයට ගමන් කළ අතර, ඔවුන් ඉතා පහළින් සහ ඉතා වේගයෙන් පියාසර කළ බව ට්‍රම්ප් පෙන්වා දුන්නා. එමෙන්ම ඔවුන් ගමන් කළේ රුසියානු, සිරියානු, තුර්කි, කුර්දි පාලනයන් තිබෙන ප්‍රදේශයන්ට ඉහළින් බව යි ඔහු කියා සිටියේ.

මෙම මෙහෙයුමේ දී එම සියලු පාර්ශව තම හෙලිකොප්ටර්වල ගමනට ඉඩ දුන් බව කියා සිටි ට්‍රම්ප්, මෙහෙයුම සාර්ථක කරගැනීමට රුසියාව​, තුර්කිය​, සිරියාව, ඉරාකය සහ කුර්දිවරුන් දුන් සහාය වෙනුවෙන් ඔවුනට ස්තූති කළා.

සිය විශේෂ ප්‍රකාශය හා ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ට්‍රම්ප් විසින් ඇමරිකන් හෙලිකොප්ටර් පිටත් වූ ස්ථානය හෙළි කළේ නැහැ. එමෙන්ම ඒවා ගිය මාර්ගයේම යළි පැමිණි බවත් ඔහු සඳහන් කළා. ඔහු කියා සිටියේ මෙහෙයුමෙහි භයානකම අවස්ථාව වූයේ මෙම ගමන බව යි. යාමට සහ ඒමට පැයකුත් විනාඩි දහය බැගින් ගත වූ බව ඔහු කියා සිටියා. ඇතැම් අවස්ථාවල යම් යම් පිරිස් හෙලිකොප්ටර්වලට වෙඩි තැබූ බවත්, ඒ සංවිධානාත්මක ප්‍රහාර නොවන්නට ඇති බවත් ඔහු සඳහන් කළා.

ට්‍රම්ප් හෙළි නොකළ ද එම ප්‍රහාරය සඳහා හෙලිකොප්ටර් පිට වූයේ ඉරාකයේ සිට බව යි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සඳහන් කළේ.

අල්-බග්දාදි රැඳී සිටි ස්ථානය පිළිබඳ තමන් සැලකිය යුතු තරම් දැන සිටි බව ට්‍රම්ප් සඳහන් කළා. ඒ අනුව​, එහි ප්‍රධාන දොරටුවෙහි මර උගුල් අටවා ඇති බව ද, එහි උමං වූ බව ද​, ඉන් එක් උමඟක් එයින් පිටතට පැමිණීමට හැකි සේ සාරා තිබූ බව ද තමන් දැන සිටි බව යි ට්‍රම්ප් කියා සිටියේ. ඩෙල්ටා ෆෝර්ස් කණ්ඩායම ප්‍රධාන දොරටුවෙන් නොව පසෙකින් එම ස්ථානයට ඇතුල් වූ බවත්, පිටතට පැමිණ පළා යා හැකි වන සේ සකසා තිබූ උමඟ අසල රැක සිටි බවත් ට්‍රම්ප් සඳහන් කළා.

අල්-බග්දාදි සිය ළමුන් තිදෙනකු සමග උමඟක් ඔස්සේ පළා යාමට උත්සාහ කළ බවත්, සිය සුනඛයන් ඔහු පසුපස එළවා ගිය බවත් ට්‍රම්ප් කියා සිටියා. විලාප තබමින් පළා ගිය ත්‍රස්ත නායකයා අවසානයේ සිය පුපුරන ද්‍රව්‍ය සහිත කබාය පුපුරවාගෙන මියගිය බවත්, දරුවන් තිදෙනා ද ඒ සමග මියගිය බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ අල්-බග්දාදි වීරයකු ලෙස නොව සුනඛයකු සහ බයගුල්ලකු ලෙස මියගිය බව යි.

පිපිරීම හේතුවෙන් උමඟ කඩා වැටී තිබුණ අතර අල්-බග්දාදිගේ සිරුර ඉන් පිටතට ගැනීමට තරමක වෙහෙසක් ගැනීමට සිදුවුණා. එම සිරුර බොහෝ දුරට විනාශ වී තිබුණ ද පරීක්ෂණයක් සඳහා ප්‍රමාණවත් කොටස් එහි වූ බවත්, විශේෂ බලකා කණ්ඩායම DNA පරීක්ෂාවක් කිරීමට සූදානමින් ම පැමිණි බවත් ජනාධිපති ට්‍රම්ප් හෙළි කළා. ඒ අනුව මියගිය තැනැත්තා අල්-බග්දාදි ම බව තහවුරු කර ගැනුණා.

මේ අතර ඔක්තෝබර් 29 වනදා සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා (SDF) සංවිධානය ප්‍රකාශ කළේ DNA පරීක්ෂාව සඳහා සාම්පල ලබාගැනීමට අල්-බග්දාදිගේ යට ඇඳුමක් සොරකම් කිරීමට කටයුතු කළ බව යි. එමෙන්ම, මැයි 15 වනදා සිට තම සංවිධානය අල්-බග්දාදි අල්ලාගැනීමේ මෙහෙයුම සඳහා CIA සංවිධානය හා එක්ව කටයුතු කළ බව ද ඔවුන් පැවසුවා. තව ද​, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අල්-බග්දාදි ජරබ්ලුස් නගරය වෙත යෑමට සූදානම් වෙමින් සිටියේයැ යි ද SDF සංවිධානය කියා සිටිනවා.

ට්‍රම්ප් සඳහන් කරන පරිදි මෙම මෙහෙයුමෙන් පසු පැය දෙකක් පමණ විශේෂ බලකා අදාළ ස්ථානයේ රැඳී සිටි අතර, ISIS සංවිධානය පිළිබඳ තොරතුරු රැසක් හෙළිකර ගැනීමට සමත් වූ බව ඔහු කියා සිටිනවා.

අල්-බග්දාදි සැඟව සිටින ස්ථානය පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ මත පළ වුණා. ඔහු අවසන් වරට පොදු ස්ථානයක පෙනී සිටියේ 2014 දී ඉරාකයේ මෝසුල් නගරයේ දී යි. ඉරාකයේ සහ සිරියාවේ විශාල භූමියක් ඒ වන විට සංවිධානය යටතට පත්ව තිබූ අතර, ඔහු එය කලිෆාතයක් ලෙස ප්‍රකාශයට පත් කළේ එම අවස්ථාවේ දී යි.

නමුත් ඉන්පසු ඔහු ප්‍රසිද්ධ ස්ථානවලට පෙනී සිටියේ නැහැ. මේ අතර සංවිධානයට අයත් ව තිබූ අවසන් පාලන ප්‍රදේශය 2019 මාර්තු 23 වනදා නිදහස් කරගැනීමත් සමග අල්-බග්දාදි සිටින ස්ථානය පිළිබඳ විවිධ මත පළ වෙන්නට වුණා. ඇතැම් අදහස් අනුව කියැවුණේ ඔහු ලිබියාවට පළා යන්නට ඇති බව යි.

අල්-බග්දාදි සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ සැඟව සිටින්නේය යන ඔත්තුව මුලින්ම CIA සංවිධානය වෙත ලැබුණේ මීට මාස කිහිපයකට පෙර යි. අල්-බග්දාදිගේ බිරිඳක සහ පණිවිඩකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් මේ බව දැනගෙන තිබෙනවා. ඉන්පසු ඉරාක සහ කුර්දි බුද්ධි නිලධාරීන් සමග එක්ව කටයුතු කිරීමෙන් CIA සංවිධානය අල්-බග්දාදි සිටින තැන සොයාගත් බව යි සඳහන් වන්නේ.

අල්-බග්දාදි ඉඩ්ලිබ් හි සැඟව සිටි බව දැනගත් විට ඇතැම් විචාරකයන් තරමක් පුදුමයට පත් වූ නමුත්, ට්‍රම්ප් කියා සිටියේ එය පුදුමයට කරුණක් නොවන බව යි. ISIS ත්‍රස්තයින් ප්‍රතිසංවිධානය වීම සඳහා ඉඩ්ලිබ් ප්‍රදේශය තෝරාගෙන තිබූ බව ට්‍රම්ප් කියා සිටිනවා. පසුගිය සමයේ දී යාබද හමා ප්‍රාන්තයේ ISIS ක්‍රියාකාරීත්වයෙහි වර්ධනයක් පෙන්නුම කර තිබුණා.

අල්-බග්දාදිගේ මරණය පිළිබඳ වාර්තා වීමෙන් පැය කිහිපයකට පසු වාර්තා වූයේ, ISIS සංවිධානයේ ප්‍රකාශක අබු හසන් අල්-මුජහීර් ද සිරියාවේ දී එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව යි. ඔහු අල්-බග්දාදිට පසු එම සංවිධානයේ නායකයා විය හැකිව තිබූ තැනැත්තා බව සඳහන් වුණා.

සදාම් හුසේන් පාලන සමයෙහි ඉරාක යුධ හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළ අබ්දුල්ලා කර්දේෂ් සංවිධානයෙහි මීළඟ නායකයා වන්නේ යයි වාර්තා වුණා. මේ අතර​, සංවිධානයෙහි මෙහෙයුම් කටයුතු කලෙක සිට ම ඔහු විසින් මෙහෙයවනු ලැබූ බවත් සැක කෙරෙනවා. එම කරුණ සත්‍යය නම් සංවිධානයේ මෙහෙයුම් ශක්තියට අල්-බග්දාදිගේ මරණය බරපතල හානියක් කරනු නොමැති බවට ද අදහස් පළ වනවා. එහෙත් මෙම මරණය හේතුවෙන් සංවිධානයේ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යයට වන හානිය නම් සුළුපටු නොවනු ඇති.