බැසිල්ගේ අනාවැකිය සත්‍යක් වෙවිද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද සියයට 10 ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද(13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියත් ඔහු හදවතින් අපේ පැත්තේ යැයි පවසන බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පිරිනමන බවද පැවසීය.

කුමන ආකාරයෙන් බැලුවත් ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක අඩුම ප්‍රතිශතයක් ලබා ගන්නා දෙවන අපේක්ෂකයෙක් බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වෙන බව ද ඒ මහතා කියා සිටියේය.

ආර්.ප්‍රේමදාසම මහතා අඩුම ප්‍රතිශතයකින් ජනාධිපති වු බවත් මෙවර ඔහුගේ පුතාට හිමිවන්නේ මෙතෙක් ප්‍රතිවාදී පරාජිත අපේක්ෂකයෙකුට ලද අඩුම ප්‍රතිශතය බවද පැවසීය.

එමෙන්ම ගෝඨාභය මහතා ජය ගනු ලබන්නේ අවම වශයෙන් වලංගු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 10ක වැඩි පරතරයකින් බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

ලංකාවේ පළාත් 9න් 7ක් අනිවාර්යෙන්ම ජය ගන්නා බවත් ආසනවලින් 120 කට වැඩි සංඛ්‍යාවක් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරන බවත් මෙහිදී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉතාම විනය ගරුකව ජයග්‍රහණයෙන් පසුව සුදානම් වන ලෙසත් පැවසු බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා හොඳ කැකුළු හාල් කිලෝවක් ද අරන් සුදානම් වන්නැයි කියා සිටියේය.

එමෙන්ම නොවැම්බර් මස 17 වන දින සිට රට ගොඩනැඟීමට සුදානම් විය යුතු බවත් පැවසු ඒ මහතා, උපාධිය ලබා ගෙන 54,000 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් 16 වෙනිදායින් පසුව රාජ්‍ය සේවයට එක්ව රට වෙනුවෙන් වැඩ කරන්න සුදානම් වන ලෙසත් පැවසීය.

රාජ්‍ය පුරප්පාඩු මෙන්ම රැකියා බිහි කළ යුතු බවත් රට වෙනුවෙන් අපතේ යන තරුණ ශ්‍රමය වැය කිරීමට අවස්ථාවක් උදාකරන බවත් පැවසු බැසිල් රාජපක්ෂ මහතා ආයෝජකයින්ට නැවත වතාවක් ආරාධනා කරන බවත් ෆිනෑන්ස්වලින් අරගත්ත ටිපර්, JCB
කොට උඩ හිටිය තැන් තියෙන නමුත් මේ රට නැවත වැඩ බිමක් කරන බවත් කියා සිටියේය.

පාසල් යවන්න බිය නොවෙන ලෙසත්, පන්සල්,පල්ලි, කෝවිල් යන්න බයවෙන්න නො‍එන ලෙසත් පැවසු රාජපක්ෂ මහතා, බස් රථයේ, කෝච්චියේ යන්න බිය නොවෙන ලෙසත් පැවසීය.

බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි , සියලු ජාතීන්ට කිසිදු ආසාධාරණයක් නොවෙන රාජ්‍යයක් ගෝඨාභය මහතා සකස් කරන බවත් කියා සිටියේය.

ප්‍රශ්නය – පුරවැසිභාවය පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කරනවිට ඔබතුමාලාගේ යුතුකමක් තියෙනවා නේද? මැතිවරණ කොමිසමෙන් ඉල්ලන්න මේ පිළිබඳ හරි හැටියට මහජනතාවට පැහැදිලි කිරීමක් කරන්න?

අපි ඉල්ලීම කර ඇති නමුත් මැතිවරණ‍ කොමිෂමට පක්ෂග්‍රාහීම කටයුතු කළ නොහැකි බවත් පැවසු බැසිල් රාජපක්ෂ මහතා, මේ ගැන ඔවුන්ට අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඇතැමුන් මහින්දට ඉදිරිපත්වෙන්නත් පුළුවන් යැයු පැවසු බවත් තමාට ඉදිරිපත් වෙන්න හැකි බවත් පැවසු ඒ මහතා ගෝඨාභය මහතාව ඉදිරිපත් කරනු ලැබුවේ සියලු සුදුසුකම් ලැබීමෙන් අනතුරුව බවත් පැවසිය.