ගුවන් යානා ඉන්ධන ටොන් 15,000ක් භූමිතෙල් ලෙස විකිණීමෙන් විශාල පාඩුවක්

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා සඳහා ගෙන්වනු ලැබූ ප්‍රමිතියෙන් උසස් තත්ත්වයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයක් භූමිතෙල් මිලට ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීම හරහා සංස්ථාවට විශාල පාඩුවක් සිදුකර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

ගුවන් යානා තලබමර ඉන්ධන හෙවත් ‘ඇව්ටර් ඉන්ධන’ නමින් හැඳින්වෙන මෙම ඉන්ධන තොගය පසුගිය වසර අවසානයේ දී මෙරටට ගෙන්වා ඇත.

එවකට රට තුළ දැඩි භූමි තෙල් අර්බුදයක් පැවති පසුබිමක, මෙම ඉන්ධන තොග ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට ඛණිජ තෙල් සංස්ථාව කටයුතු කර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

මේවා ලීටරයක් රුපියල් 87ක බැගින් වූ මිළකට පරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කර ඇති අතර, එමඟින් ඛණිජ තෙල් සංස්ථාව ලීටරයකින් රු. 35 ශත 50ක පාඩුවක් ලබා ඇත. එහි සමස්ත පාඩුව අවම වශයෙන් රුපියල් පනස්තුන් කෝටි විසිපන්ලක්ෂයක් බවට වෘත්තීය චෝදනා කරයි.

පසුගිය කාලය තුළ ඇව්ටර් වර්ගයේ ඉන්ධන ලීටරයක් ගුවන් යානා සඳහා අලෙවි කෙරුනේ රුපියල් 122.50ක මිලකට ය.

පසුගිය වසරේ ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 100කට ආසන්න වේ. 2022 පෙබරිවාරි මසට පමණක් පාඩුව රුපියල් බිලියන 07කි.

ඉන්ධන මිල වැඩි නොකළේ නම් 2022 මාර්තු මාසයට අපේක්ෂිත පාඩුව රුපියල් බිලියන 12.9කි.

විදුලිබල මණ්ඩලයෙන් රුපියල් බිලියන 61ක්, සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් අයවිය යුතු බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කරයි.

bbc