ගිණි ගණන් ගිය වාහන මිල අඩු කරන ක්‍රමය මහ බැංකුව හෙළි කරයි

ශ්‍රී ලංකාවට නැවතත් වාහන ආනයනය කිරීමට සඳහා වන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ වාහන ආනයනයේදී අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශීය විනිමය හරහා සිදු කිරීම පිළිබඳව පිළිබඳ ව මෙහි දී යෝජනා කර ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙන බව අපි දැන් දකිනවා. ඒ තුළින් සමහර විට අපේ පද්ධතියට යම් හානියක් සිදුවෙන්න පුළුවන් ඉදිරි කාලයේ දී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, පිටරට මුදල්වලින් වාහන ගේන්න පුළුවන් නම්, ඊට අමතරව විදේශ විනිමයෙන් ඊට අවශ්‍ය වන බදු ගෙවීම සඳහා අපට ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම්, ඒ තුළින් එක පැත්තකින් අපට විදේශ විනිමය ගලා ඒමක් සිදුවෙනවා.

තව පැත්තකින් රටට අවශ්‍ය ඒ භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට ඒ පිළිබඳ රජයට ලිඛිතව දන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයට ඒ ගැන සැලකිලිමත් වෙන්නට පුළුවන්. අපි හිතන විදියට මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නට අවශ්‍යයි. එක පැත්තක් තියෙනවා, මිල අධික වීම, අනෙක් පැත්තෙන් ජනතාවට ඒකේ අවශ්‍යතාවයක් වීම.

තව පැත්තකින් පිටරට මුදල් ලංකාවට ගලාඒමට පද්ධතියක් ඇති කිරීම වැනි සියලුම පැතිවලින් බලද්දී මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. මහ බැංකුව හැටියට යෝජනාවක් හැටියට අපිට ඒක ලබා දෙන්න පුළුවන්.