වසර 200කට වඩා පැරැණි හිස් කබලක් දඹානට

ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් වසර 200කට වඩා පැරැණි හිස් කබල් හා අස්ථි කොටස් ආදිවාසී නායක ඌරුවර්ගයේ වන්නිල ඇත්තන්ගේ ඉල්ලීමකට ලංකාවට රැගෙනවිත් එම අස්ථි කොටස් මහියංගණය දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ඊයේ (10දා) සිදු කෙරිණි.
එම අවස්ථාවට ආදිවාසී නායක වන්නිල ඇත්තගේ ආරාධනයෙන් ජාතික උරුමය, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. එම පැරණි හිස් කබල් හා අස්ථි කොටස් විශේෂ වායුසමනය කරන ලද කුටීරයක තැත්පත් කළ අතර, එම කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 33ක වියදමක් රජය විසින් දරා තිබේ.එමෙන්ම ජන උරුම කෞතුකාගාරයේ ඉදිරි ප්‍රතිසංස්කරණ වැඩ පිළිබඳ අමාත්‍යවරයා විසින් විශේෂ සොයා බැලීමක් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරින් සමග ඒ පිළිබඳ සාකච්ඡාවක්ද සිදු කළේය.උත්සවයට සමගාමීව හේනානිගල ආදිවාසී. ගම්මානයේ අවශ්‍යතාවන් සඳහා භාණ්ඩ පරිත්‍යාගයක්ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

(මහියංගණ – රංජිත් කරුණාවීර)