මුදාහැරීමට ප්‍රමාද අනතුරුදායක භාණ්ඩ කොළඹ වරායට තර්ජනයක්

ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික භාණ්ඩ කිහිපයක් කොළඹ වරායෙන් මුදා හැරීමේ දීර්ඝ ප්‍රමාදයක් සිදුවී ඇති අතර ඒ අතර භයානක භාණ්ඩ ලෙස වර්ගීකරණය කරන ලද භාණ්ඩ ද තිබෙන බව පැවැසේ.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද අධික ලෙස ගිනි ගන්නා දියර වැනි භාණ්ඩද එසේ මුදාගත නොහැකිව කොළඹ වරායේ සිරවී ඇති අතර එම භාණ්ඩ ඉවත් කිරීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බැංකු මගින් නිකුත් නොකිරීම නිසා ඒවා සති අටකට ආසන්න කාලයක් වරායේ සිරවී ඇති බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර දේශීය තීන්ත නිෂ්පාදකයෙකු සඳහා භාණ්ඩ ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති නමුත් දේශීය සමාගමට බලපා ඇති ඩොලර් නොමැති වීමේ ප්‍රශ්නය මෙයට අදාළ එක් සිද්ධියකි.
එම සැපයුම්කරුට අනුව, ගෙන්වන ලද භාණ්ඩ අධික ලෙස ගිනි ගන්නා සුළු ඒවා වන අතර අධික තාප තත්වයන් තුළ දිගු පැය ගණනක් තබා නොගත යුතු පැය 24-48 කාලයකින් ඉවත් කළ යුතු ඒවාද වනු ඇත. නමුත් ඒවා සති අටකට ආසන්න කාලයක් වරායේ සිරවී ඇති බවද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ ‍ඩොලර් හිඟයක් පවතින බැවින් ඇමෙරිකානු ඩොලර් භාවිතා කරමින් ගෙවීම් සිදුකිරීමට මහ බැංකුව දැඩි සීමාවන් පනවා ඇත.
ඇතැම් භාණ්ඩ කොළඹ වරායෙන් මුදා ගැනීමට දීර්ඝ කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් හිඟ මුදල් පවා ගෙවීමට සිදුව ඇති බවද සැපයුම්කරුවෝ පවසති.
තවද මෙම ඩොලර් අර්බුදය ඔවුන්ගේ ව්‍යාපාරයන්ට බරපතල තර්ජනයක් වන අතර ශ්‍රී ලංකාවට භාණ්ඩ සපයන අපනයනකරුවන්ගේ විශ්වාසය ද පළුදු වන බවද පැවැසේ.
ඩොලර් අර්බුදය හේතුවෙන් භාණ්ඩ කිහිපයක් කොළඹ වරායේ සිරවී ඇති බවත් සැපයුම්කරුවන් ප්‍රකාශ කරන භාණ්ඩ අතර අනතුරුදායක භාණ්ඩ තිබේද යන්න පිළිබඳව නොදන්නා නමුත් ඊට බොහෝ දුරට ඉඩ ඇති බවද කොළඹ වරාය වෘත්තීය සමිති ආරංචි මාර්ගද සඳහන් කළේය.