“ශක්තිමත්  ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා” – දුමින්ද දිසානායක

රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත්  ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ 2019 ජනාධිපති මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“අද දිනයේ අපි ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අනුරාධපුරයේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දුවක් දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට 2010 වර්ෂයේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුරාධපුරයෙන් අපි නැවත ලබා දෙනවා කියලා. ඒ අනුව අපිට වැඩි ඡන්ද එක් ලක්ෂ හතලිස් දහසකින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ස්තූතිවන්ත වෙනවා පක්ෂය ගත්තු තීන්දුවත් එක්ක.  අපි දුන්න පණිවිඩය ඒ ආකාරවම පිළිපැදලා ඒ ජයග්‍රහණය අපිට ලබා දීම සම්බන්ධව. එය අනුරාධපුරයේ පමණක් නොවෙයි, සමස්ත  ශ්‍රී ලංකාවේම නිදහස් පාක්ෂිකයෝ පක්ෂය ගත් නිවැරදි තීන්දුවත් එක්ක ඒ අය හිටගෙන තියෙනවා. ඒ අය සියලු දෙනාගේ සහයෝගය මේ එකතුවට ලබා දීලා තියෙනවා. ඒ නිස සමස්ත  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ඒ අයට මතක් කරන්න අවශ්‍යයි, එදා අපි එකතුවේදී යම් පොරොන්දුවක් දුන්නා නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඒ පොරොන්දුවත් අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරනවා කියන කාරණාව. ඒ වගේම මේ ජයග්‍රහණයෙන් ඉතාමත් හොඳින් පේනවා අපි මුල ඉඳන්ම කිව්ව කාරණයක් තමයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණට ලක්ෂ 50ක් ඡන්ද ලැබුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලක්ෂ 17ක් ලැබුණා. ඒ අනුව මේ වන විටත් ලක්ෂ 67ත්, ඉක්මවා ගිහින් ලක්ෂ 69ක් තියෙනවා. අපි කිව්ව කාරණයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණත් සමඟ මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වීමේදී පොදුජන පෙරමුණේ තිබුණ ලක්ෂ 50ට, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 17 එකතු වෙනවා වගේම අපේ එකතුවත් එක්ක, මේ ජයග්‍රහණයත් එක්ක මේ දිහා බලන් ඉන්න ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය ඇති කර ගත්ත බොහෝ පිරිසක්  ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහයෝගය ලබා දී තිබෙනවා.

ඒ නිසා තමයි ඡන්ද ලක්ෂ 69 ක් පමණ ලබා ගෙන තිබෙන්නේ. ඒ නිසා සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හා පොදුජන පෙරමුණේ සියලුම පාක්ෂිකයන්ට , මේ ජයග්‍රහණයේ එකතුවට සතුටු වෙලා අපිත් එක්ක අත්වැල් බැඳගත්ත සියලු පාක්ෂිකයන්ට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  අපි  ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට  දැන් මැතිවරණය ඉවරයි, දැන් අපිට සහ ඔබතුමාට තියෙන්නේ අපි රටට ලබා දුන් පොරොන්දුව මේ රට නිවැරදි තැනකට ගෙන යන එක. ඒ නිසා සියලු ජාතීන්, සියලු පාක්ෂිකයන් එකට අත්වැල් බැඳගත්ත ශ්‍රී ලාංකයන් විදිහට රටක් දියුණු කරන්න අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට  ඉදිරියටත් අපි සහයෝගය ලබා දෙන්නත්, ලබාදුන් පොරොන්දු ඒ විදිහටම මේ රට වෙනුවෙන් ඉෂ්ඨ කරන්න කියන පණිවිඩයත් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ලබා දෙනවා.

ඒ වගේම සියලුම රට වැසියන්ට අපි පණිවිඩයක් දෙන්න අවශ්‍යයි 2015 අපිට පුළුවන්කම ලැබුණා, අපිට මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කරන්න. ඒ අනුව මේ මැතිවරණයේ ජයග්‍රහණය අපිට පක්ෂයක් ලෙස සතුටක් වගේම, අපි පරාජිත කණ්ඩායම් වලට, තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න බැරි වුණ සියලු දෙනාටත් අපි ප්‍රජාත්‍රන්තවාදීව හා සාමකාමීව හැසිරෙන්න  අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා මොනම පාක්ෂිකයෙක්වත් ජයග්‍රහණයෙන් උදම් අනන්න සූදානම් වෙන්න එපා. ජයග්‍රහණය තනිව භුක්ති විදින්න, රටක් විදිහට අපි ලැබූ ජයග්‍රහණයක් නිසා අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ රට දියුණු කරන්න, ශක්තිමත් කරන්න අවශ්‍යතාව තියෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණය සාමකාමීව, වැදගත් විදිහට භුක්ති විදින්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.