මැතිව්ස්ගේ බඩගින්න ගැන හේරත් බංග්ලාදේශයට කියා දෙයි

  • අසේල විතාන

ඇන්ජලෝ මැතිව්ස් යනු නිරන්තරයෙන්ම අභියෝග ජය ගැනීමට දක්ෂතාවක් දක්වන පිතිකරුවකු බව රංගන හේරත් පවසයි. බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් ලබාගත් ශතකය සම්බන්ධයෙන් හේරත් මෙම අදහස් පළ කර සිටියේය.
දැනට මාස කිහිපයක සිට බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දග පන්දු පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන රංගන හේරත් තමා ක්‍රීඩා කරන කාලයේ සගයා වූ 34 හැවිරිදි මැතිව්ස් ගැන වැඩි දුරටත් මෙසේ පැවසීය.
“මම ඇන්ජලෝව හොඳින් දන්නවා අපි දෙන්නා ගොඩක් කල් එකට ක්‍රීඩා කරලා තියෙනවා එයාට හැම තිස්සෙම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ බඩගින්නක් තියෙන කෙනෙක්. ඔහුට දැන් අවුරුදු 34 ක් වුණත් 36 ක් වුණත් නිතරම බලන්නෙ තියෙන අභියෝගය ජය ගන්න. කොහොම වුණත් මැතිව්ස් ලබාගත් ශතකය විශිෂ්ට ශතකයක්. ඔහු දිගටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළොත් ලොකු දෙයක් කරාවි යැයි හේරත් වැඩිදුරටත් පැවසීය.

චිතගොං ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 09 කට පිටියෙන් ඉවත් විය. අනතුරුව දෙවැනි කඩුල්ල වශයෙන් අනෙක් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36 කට පිටියෙන් ඉවත්විමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් අංක 4 පිතිකරුවා වශයෙන් පැමිණ පළමු දිනය පුරා කඩුල්ල රැක ගනිමින් බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.
මැතිව්ස් පන්දු 213 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග පළමු දිනය අවසන් වන විට ලකුණු 114 ක් ලබා සිටි අතර ඔහුගේ අනෙක් සගයා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 77 කදී හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 34 ක් ලබා සිටියේය. අංක තුන පිතිකරුවා වශයෙන් පැමිණි කුසල් මෙන්ඩිස් පන්දු 131 කදී හතරේ පහර තුනක් සමග ලකුණු 54 ක් ලබා ගත් නමුත් තේ පානයෙන් පසුව යැවූ පළමු පන්දුවේදීම තයිජුල් ඉස්ලාම් ඔහුව පිටියෙන් ඉවත් කළේය. ධනජය සිල්වාට මෙම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 06 ක් පමණි. ශ්‍රී ලංකා පළමු දිනයේදී ක්‍රීඩා කළ පන්දුවාර 90 තුළදී පන්දුවාරයකට දළ ලකුණු 286 ක වේගයක් පවත්වා ගනිද්දී කඩුලු 4 කට ලකුණු 258 ක් ලබා සිටියේය.