යුක්තිය පසිදලීමේ නිවාසයක් හදන්න උත්සාහ කළා ඒකට බාලගිරි දෝෂය හැමදාම ආවා

මානව හිමිකම් කඩවීමක් සිදුවුවහොත් එය ශ්‍රී ලංකාව තුළම විසදා ගැනීමේ යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කළොත් ඩයස්පෝරාවට විදේශ තානාපති කාර්යාලවලට විදේශ රජ්‍ය නොවන සංවිධාන වලට රටේ අභ්‍යන්තරයට ඇගිලි ගහන්න පුළුවන් කමක් නොවන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී එක්වෙමිනි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“උසාවිවල තියෙන නඩු වාර්තා නිසි පිළිවෙළකට අපි සකස් කරලා නැහැ, ඒවා වාර්තා ගත කරලා නැහැ, ඒ නිසා උසාවි පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අත්‍යාවශ්‍යයි.

අවුරුදු 10 ක් විතර තිස්සේ House Of Justice යුක්තිය පසිදලීමේ නිවාසයක් හදන්න උත්සාහ කළා ඒකට බාලගිරි දෝෂය හැමදාම ආවා, ඒ පිළිබදව ඉතා ඉක්මනින් පියවර අර ගෙන ඒ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරිම් කරනවා.

බන්ධනාගාරවලට යවන රැදවියන්ට වෙන්නේ කරපු වරදට වඩා දරුණු ගණයේ අපරාධ කරන අය බවට පත් වෙන්නයි  සාමාන්‍ය අපරාධ කරන අය බන්ධනාගාර ගත කළාම දරුණු අපරාධ කළ අය සමග මිශ්‍ර වෙනවා, ඒ නිසාම මේ බන්ධනාගාර ක්‍රමයේ ප්‍රති සංශෝධනයක් අපි අනිවාර්යෙන්ම ඇති කළ යුතුයි.”