තෙල් ලැබුණොත් අද ලයිට් කපන්නෙ නැහැයිලු

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවු බවත් පොරොන්දු වු පරිදි තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදුකළහොත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ දිනයේදී කොටස් හතරක් යටතේ දිවයින පුරා පැයයි මිනිත්තු 45ක පමණ කාලයක් අදාළ විදුලි කප්පාදුව සිදුකළ බවයි .

ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසක් ඊයේ දිනයේ පස්වරු 5.00 ට කැලණිතිස්ස බලාගාරය වෙත ලබා දෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පොරොන්දු වී තිබුණද එම ඉන්ධන තොගය ලබාදීම ආරම්භ වුයේ රාත්‍රී 11.00න් පසුව බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව විදුලිබල පද්ධතියට මෙගාවොට් 282ක ධාරිතාවක් එක් කළ හැකි කැලණිතිස්ස විදුලිබලාගාරය අදාළ ඉන්ධන තොගය ගොඩබෑමෙන් අනතුරුව යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවැසේ.
ලංකා විදුලි බල මණ්ලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කරන්නේ එලෙස නිසි පරිදි අදාළ ධාරිතාව පද්ධතියට එක්වුණ හොත් අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි .
දැවි තෙල් ද අද දිනයෙන් අවසන් විමට නියමිත සපුගස්කන්ද විදුලිබලාගාරයද මේ හා සමාන අර්බුදයකට මුහුණ දී සිටින අතර එම තත්වය සමනය කරගැනිම සඳහා අවශ්‍ය දැවි තෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබාදෙන බවට පොරොන්දුවක් දි ඇති බව විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ පොරොන්දු වූ පරිදි අද පස්වරුව වන විට දැවි තෙල්තොග නොලැබුණහොත් සපුගස්කන්ද විදුලිබලාගාරයේ විදුලි උත්පාදන කටයුතුවලට ද යම් බලපෑමක් එල්ලවිය හැකි බව දැනගන්නට ඇත.
මේ අතර සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව සඳහන් කරන ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කර සිටී.