ටොම් මූඩි එංගලන්තයට යාම ඔහුගේ රාජකාරියක්ද?

වැඩ කරන දවස් 300 ට රුපියල් මිලියන 112.9 ක්

ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී පත්කරන ලද ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩිගේ ප්‍රධානම රාජකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව ආකෘතියන් ඇතුළු සැළැසුම් සකස් කිරීම වුවද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පසුගිය එංගලන්ත සංචාරයට සහභාගී වූයේ කුමන රාජකාරියක් සඳහා දැයි මේ දින වල ක්‍රිකට් ක්ෂේත්‍රෙය් දැඩි කතා බහට ලක්වී ඇත. පුහුණුකරුවන්ගේ රාජකාරීන් පිරික්සන්නට මෝඩි එංගලන්තයට ගිය බවට ඔහුගේ මිත්‍ර මුරලිදරන් පසුගියදා පැවැසුවද ඉන්දීය කණ්ඩායම මෙරට සංචාරය කරනා මේ දිනවලදී මූඩි ලංකාවේ වත් නැත. ඔහු එංගලන්තයේ වෙනත් රාජකාරියක නිරතවෙමින් සිටින බව දැනගන්නට ඇත.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු සියලුම අංශ වලට පුහුණුකරුවන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටියදී ටොම් මූඩි මහතාට පවරා ඇති ප්‍රධාන හා මූලික රාජකාරි පසෙක දමා කණඩායම සමඟ එංගලන්තයට ගියේ ඔහු එතැනින් පසුව බටහිර කොදෙව් දූපත් බලා යාමේ යටි අරමුණකින් වන්නට ඇති බව තතු දන්නෝ පවසති. එනම් කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදීද ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරන බවද පැවැසේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කරන කාලය තුළදී ඔහුගේ දිනක වැටුප අමෙරිකානු ඩොලර් 1900 ක් : ශ්‍රී ලංකා රුපියල් 376.125.00 බවට වාර්තා වෙනවා. ඊට දිනකට ගෙවනු ලබන අමෙරිකානු ඩොලර් 100ක දීමනාවත් ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එළැඹී ඇති ගිවිසුමට අනුව ඔහුගේ සේවා කාලය වසර 3ක් හෙවත් දින 300ක් (වසරකට දින 100ක් බැගින්) බවත් සඳහන් වේ.
ඒ අනුව ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා ලෙස වසරකට දින 100ක් බැගින් වසර තුනක් සේවය කිරීම වෙනුවෙන් ටොම් මූඩිට ගෙවනු ලබන මුළු මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ හැත්තෑදහසක් (570,000.00) හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 112.9ක පමණ මුදලක් වනු ඇති. කෙසේ වෙතත් ජුනි මස 23දා සිට පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී පමණක් ටොම් මූඩි වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 10 ක් බවත් පැවැසෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අදාළව අත්සන් කිරීමට නියමිතව ඇති නව වාර්ෂික ගිවිසුම් වලට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මතුවී ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා පත්කර ඇති නව ක්‍රිකට් උපදේශක කමිටුව විසින් සකස් කරන ලද මෙම නව ගිවිසුම් ක්‍රමයට ටොම් මූඩිගේ අදහස් හා යෝජනාද ඇතුළත් කර ඇතැයි පැවැසේ. ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් වෙනුවෙන් යෝජිත මෙම නව ගිවිසුම් අනුව බැලූ විට ඉහළම වැටුපක් ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ වුවද වාර්ෂික වැටුප නව ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩිගේ මාසික වැටුපට සමාන තත්වයක පත්ව තිබිමද බොහෝ දෙනාගේ කතා බහට ලක්වී ඇත.

එසේ මත පළකරන මෙරට ක්‍රිකට් ප්‍රවීණයින් පවසන්නේ ටොම් මූඩිට වඩා ලෝක මට්ටමින් ඉහළ පිළිගැනීමක් ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර සිටියදී මූඩි වැනි පුද්ගලයෙක් අධ්‍යක්ෂ වරයෙක් ලෙස පත්කරගෙන උපදෙස් ලබා ගැනීම ඵලදායී කටයුත්තක්ද ? යන ප්‍රශ්නය මතුවන බවයි. තවද තමන් ක්‍රීඩා කරන සමයේ ක්‍රීඩකයින්ට කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් සටන් කළ අය අද ඉහළ තනතුරු වලට පත්වූ පසුව එවන් ක්‍රීඩකයින්ගේම මතයන්ට විරුද්ධව ක්‍රියාකිරිම අනුමත කළ නොහැකි තත්වයක්ද පවසන එකී ප්‍රවීණයෝ මෙවැනි පත්කිරීම් සිදුවන්නේ අයි.පී.එල්. තරගාවලිය හරහා ඇතිකර ගත් සබඳතාවන් නිසා වන්නට පුළුවන් බවද අදහස් පළකරති. ටොම් මූඩි යනු මුත්තයියා මුරලිදරන්ද පන්දුයැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සන්රයිසර්ස් හයිද්‍රාභාද් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයායග එම සන්රයිසර්ස් කණ්ඩායම මෙවර අයිගපීගඑල්. තරගාවලියේදීත් තරග ප්‍රතිඵල සටහනේ අවසන් ස්ථානයේ පසුවන කණඩායමද වන බැවින් මූඩිගේ පුහුණුකරන හැකියාව ගැන එදා කියූ කතාද අදට වලංගු නැත.

  • සිරිනාම රාජපක්ෂ