යාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැගීමට කටයුතු කරනවා.

අතීතය ගැන වාද විවාද කිරීම හොඳයි, හැබැයි එයින් අනාගතයට කිසිම ප‍්‍රයෝජනයක් නැහැ.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක සුඛිත පුරවර වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,350 ක වියදමින් ඉදිකිරීමට නියමිත යාපනය නව නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරණු මෙම අවස්ථාවට යාපනය දිස්ති‍්‍රක්කයේ මැතිඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපගේ වැදගත් ජාතික භෞතික සැළසුමේ ප‍්‍රතිපළයක් ලෙසයි අපි යාපනය නගරය ගොඩ නැගීමට කටයුතු කරන්නේ. 2017 – 18 වසර දෙකේ මේ රටේ සියළු ක්‍ෂෙත‍්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් 3,000 ක් එකතු වෙලා රටේ ජාතික භෞතික සැලසුම ඇති කළා. එතනදී අපි හඳුනාගත්තා රටේ ප‍්‍රධාන සංවර්ධන කොරිඩෝ හතරක්. එකක් කොළඹ සිට ති‍්‍රකුණාමලයටත්, දක්ෂිණ කොරිඩෝව ගාල්ලේ සිට තිස්ස මහාරාමයට, උතුරේ කොරිඩෝව යාපනයේ සිට කිලිනොච්චියට, නැගෙනහිර කොරිඩෝව වාලච්චේන සිට මඩකලපුව, අම්පාරට හඳුනාගෙන තිබෙනවා. දැනටමත් යාපන නගරය 2018 සිට ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ උපාය මාර්ගික නගරයක් ලෙස කි‍්‍රයාත්මක කරනවා. ඒ වගේම යාපනය හා අවට සියළුම උප නගර නාගරික සංවර්ධන අධිකාරිය විසින් විධිමත් සැලසුමකට අනුව සංවර්ධනය කරගෙන යනවා. අපි දැනටමත් යාපන නගරයේ ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මහා මාර්ග ගණනාවක් සංවර්ධනය කරගෙන යනවා. විශේෂයෙන්ම ප‍්‍රධාන බස් නැවතුම්පල අවට ප‍්‍රධාන වාණිජ සංකීර්ණය ඉදිකරමින් පවතිනවා. ඒ වගේම පැරණි කච්චේරි ගොඩනැගිල්ල පුනරුත්ථාපනයට කටයුතු කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ නව නගර ශාලාවත් සමග විධිමත් නාගරික ව්‍යූහයක් අපේ යාපන මහ නගර සභාවට ලැබෙයි කියලා.

ඒ වගේම මම 2010 විදුලබල හා බලශක්ති ඇමති හැටියට යාපනයට පැමිණි වෙලාවේ යාපනයෙන් අඩකඩවත් විදුලිය තිබුනේ නැහැ. අපි යාපනයට විදුලි බලාගාරයක් ඇතිකළා. ඒ වගේම ගැටුම් අවස්ථාවේදී විනාශ වූ වව්නියා, චුන්නාකම් සම්පේ‍්‍රෂණ මාර්ගය ඉදිකළා. අලූත් විදුලි බලාගාරයක් ලබාදුන්නා. අද යාපනය 100% ක් විදුලි තිබෙන ස්ථානයක් බවට අපි පත් කළා. ඒ වගේම ඉදිරිකාලයේදී යාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔබ සැමට ප‍්‍රකාශ කරනවා. ඒ සඳහා ඔබ සියලූ දෙනාගේම අදහස් මීට මාස ගණනාවකට පෙර මේ යාපනයේ ජීවත්වන වෘත්තීයවේදීන් සියලූ දෙනාම එක ශාලාවකට රැස්කර අපේ සැලසුම් පෙන්වාදී, ඔබගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එම අදහස් ලබාගත් බවත් ඒවාට අනුකූළව අපේ සැලසුම් වෙනස්කර කි‍්‍රයාත්මක කරන බවත් සඳහන් කළ යුතුයි.

ඒ වගේම මගේ පරම්පරාව සෑහෙන්න බැට කාපු පරම්පරාවක්. අපි දැක්කා 1983 සිට ඇති වූ ගැටුම්. උතුරෙත්, දකුණේත් ඒ වගේම රට පුරාමත්. යාපනය විතරක් නෙමෙයි යුද්ධයෙන් බැට කෑවේ. දකුණේ 60,000 කට අධික මගේ පරපුරේ පිරිසක් 87-89 කාලයේ මරා දැම්මා. ඒ නිසා ම රටින් පිටතට අති විශාල ජනතාවක් ඇදි ගියා. යාපනයෙන් පිටත වැඩිම දමිළ ජනතාවක් ජීවත් වන්නේ ටොරොන්ටෝවල. ඒ වගේම කොළඹින් පිටත වැඩිම සිංහල ජනතාවක් ජීවත් වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරේ. ඒක නිසා අපේ පරම්පරාවේ අපි කල්පනා කළ යුතුයි මේ රට රටින් පැනලා යන තැනක් නෙමෙයි ඉන්න හිතෙන රටක් බවට පත් කරන්න. එය තමයි අපේ අමාත්‍යාංශයේ තේමාව. ඒ නිසා අතීතය ගැන වාද විවාද කිරීම හොඳයි, හැබැයි එයින් අනාගතයට කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. අපේ දරු පරපුරට කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි ප‍්‍රායෝගිකව මේ රට, මේ නගර අපේ දරුවන්ට ඉන්න හිතෙන රටක් හැටියට පරිවර්ථනය කළ හැකි හැම දෙයක්ම කිරීමට කැපවෙමු කියා ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලගතු සංකේතයක් ලෙස මේ නව නගර ශාලාව ඉදිරි වසර තුනේදී ගාම්භීරව, අභිමානවත්ව සියළු දෙනාගේම ගෞරවයට පාත‍්‍ර වෙමින් නැගී සිටිනු ඇතැයි විශ්වාස කරනවා