කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමීන් 53 දෙනාට ඇප

අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩකරමින් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා්වකට සූදානම්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පක්ෂ සාමාජිකයින් 53 දෙනා ඇප මත මුදාහැර තිබේ. සැකකුරුවන් ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇප මත මුදාහැර තිබේ.
ඇමරිකාවේ ජෝර්ජ් ලොයිඞ් නමැති කලු‍ ජාතිකයාගේ ඝාතනය හෙලා දකිමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් ඊයේ කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාව සංවිධානය කර තිබිණි. කෙසේ වෙතත් එම විරෝධතාව වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණු අතර එම නියෝගය කඩ කරමින් අදාල පක්ෂ සාමාජිකයන් මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම්වීම මත පෙරටුගාමී පක්ෂ සාමාජිකයින් 53 දෙනා අත්අඩංගවට ගෙන තිබිණි.