මහේලට ලංකාවෙ පුහුණුකාර තනතුර ඕන නිසා ඉන්දියාවේ පුහුණුකරු වෙන්න බැහැ කියයි

ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශාස්ත්‍රි එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඉවත් වීමට තීරණය කර ඇති බැවින් ඔහු වෙනුවට කවුරු පත්කරනු ඇත්දැයි බොහෝ මත පළ වෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට එම තනතුර බාරගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) විසින් ආරාධනා කර ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් මහේල විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ. එම වාර්තා මඟින් වැඩිදුරටත් කියැවෙන්නේ ඔහු එම ඉල්ලීම පැහැර හැරියේ ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට අවශ්‍ය වන නිසා බවයි.

අයිපීඑල් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරන ජයවර්ධන මේ වන විට එම තනතුරෙහි ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇත. බීසීසීඅයි නියමයන්ට අනුව, පැහැදිලිවම සඳහන් වන්නේ පුද්ගලයෙකුට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස සිටියදී වෙනත් තනතුරක් දැරීමට නොහැකි බවයි. නමුත් ශ්‍රී ලංකා පුහුණුකරු වශයෙන් කටයුතු කරන විට එවන් නීතියක් බලපාන්නේ නැති බවද පැවැසේ.

මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකි. විශිෂ්ඨ පිතිකරුවෙකු වූ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 149 කට සහ එක්දින තරඟ 448 කට සහභාගී විය.
ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග වලදී ලකුණු 11814 ක් රැස් කළ අතර, එක්දින තරග වලදී ද ලකුණු 12650 ක් රැස් කළේය. විස්සයි 20 තරග වලදී ජයවර්ධන තරග 55 කදී ලකුණු 1493 ක් රැස් කළේය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක 7 ක් සමඟින් මුළු ශතක 54 වාර්තා කළේය. එසේම අයිපීඑල් තරඟ 80 කදී ඔහු 28.60 ක සාමාන්‍යයකින් ලකුණු 1802 ක් රැස් කර තිබේ. ඔහු අයිපීඑල් ක්‍රිකට් තරග වාරයකදී ශතකයක්ද රැස් කර තිබේ.