ආර්ථිකයේ ඇත්ත තත්ත්වය ඇමැතිවරුන්ට කියනවා – අගමැති කියයි

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග පැවැති සාකච්ඡා සාර්ථකයි

ඉන්ධන ගන්න වෙනත් මාර්ගවලින් ඩොලර් හොයනවා

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ සිදුකළ සමාලෝචන සියල්ල අවසන් කර ඇති බවත් ඒ ගැන තමා අද (16 දා) ඇමැති මණ්ඩලයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය ගැන ඊයේ (15 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේයග ලෝක බැංකව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග තමා සාකච්ඡා කළ බවත් එම ලැබෙන ආධාර ප්‍රමාණයන් වැඩිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම විශේෂ ප්‍රකාශය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග පැවැති සාකච්ඡාවලදී අපට තවදුරටත් සෞඛ්‍ය අංශයටත්ල ආහාර අංශයටත්ල පොහොර අංශයටත් ආධාර දෙන බවට පොරොන්දු වුණා. ඒ ආධාර ප්‍රමාණය වැඩිවෙයි. ඒ වගේම ආර්ථික අංශයටත් ආධාර දෙන්න ඕනේ. මීට පෙර සාකච්ඡා කළ රටවල් සියල්ලම දැන් පියවර ගෙන යනවා ලංකාවට ආධාර උපකාර කරන්න. අපට දැන් තියන ප්‍රශ්නය තමයි මේ රටේ බලශක්ති ක්‍ෂේත්‍රයට එන සතියට ඉන්ධන ලබා ගන්න. බැංකුවල ඩොලර් හිඟයක් තියන නිසා. විශේෂයෙන් අපි අනිත් මාර්ගවලින් මුදල් ලබාගන්න ක්‍රියාකරගෙන යනවා. ඒ වගේම අද 21 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කරලා ඊට පසුව ඒ කෙටුම්පත සකස් කරන්න පියවර ගන්නවා. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා. අද රටේ තියන ආර්ථික තත්ත්වය ගැන සමාලෝචන සියල්ලම අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා අද ඒ පිළිබඳ මම වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත