සුළු වැරැද්දක් නම් බන්ධනාගාරගත කරන්නෙ නැහැ ගෙදර තියලම දඬුවම් දෙන ක්‍රමයක් එයි

සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ විකල්ප ක්‍රමවේදය මෙරට තුළ හඳුන්වාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

වර්තමායේ බන්ධනාගාර තුළ පවතින තදබදයට විසදුමක් ලෙස මෙම විකල්ප ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ පස් අවුරුදු සැලැස්මකට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවද පැවැසේ.

දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක කෙරෙන බව පෙන්වා දෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේදී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන රැඳවියන් සඳහා එය ක්‍රියාත්මක කළ හැකි බවයි. එසේම සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නොකොට ඔවුන්ගේ නිවෙස්වලම නියමිත කාලය තුළ රැඳවීම නව ක්‍රමවේදය අනුව සිදුකෙරේ. තවද ඔවුන්ව අධීක්ෂණය කිරීමේ කටයුතු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන බවද සඳහන්ය.
මෙකී විකල්ප ක්‍රමවේදයට අනුව සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට එවන් රැඳවියන්ට අවස්ථාව හිමිවනු ඇත. ඒ අනුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකවීම මඟින් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන පිරිස් අඩුවීම හරහා බන්ධනාගාර තදබදය අවමවීම පමණක් නොව විශාල මුදලක් රජයට ඉතිරි වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
තවද දඩ මුදල් ගෙවාගැනීමට නොහැකිවීම මත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමිවීම සිදුවෙන බවත් පෙනී ගොස් ඇතැයිද පැවැසේ. එබැවින් බන්ධනාගාරගත වන රැඳවියන් සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් ඔවුන්ට රැකියාවකට යාමට අවස්ථාවද ලැබෙන අතර තම දඩ මුදල ගෙවාගැනීමට අවස්ථාව සැලසෙන බවද එම දෙපාර්තමේන්තුවේ අදහසයි.