අයියෝ මුරලි….. මොනවද මේ නාඩගම්….

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවට ගුරුහරුකම් දුන්නේ කාගේ සල්ලි පෙරේතකම් නිසාද ?
පල්ලේකැළේ ක්‍රිකට් බිස්නස් කරන්නට ගොස් හොට බිම ඇනගත්තේ කවුද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පසුබෑමට හේතුව ක්‍රීඩාංගණයේ හත‍රේ සීමාව තුළ සිදුකෙරෙනා ක්‍රියාකාරකම් පමණක් ‍නොව ඉන් එපිටදී සිදුවන බොහෝ දේවල්ද ඊට බලපෑම් කර ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් ඇති බොහෝ දෙනා දන්නා කරුණකි. එනම් ක්‍රීඩාංගණය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා ලබා ගන්නා පරාජයන් මෙන්ම ක්‍රීඩාවේ පැවැත්මට ශක්තියක් වන විනය පිරිහීමද මෙම කඩාවැටීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත. මෙකී විනය පිරිහීම වර්තාමානයේ ක්‍රීඩා කරන අය තුළින් පමණක් නොව ක්‍රීඩාව කරවන ප්‍රවීණයන් තුළින්ද දිස්වීම මෙරට ක්‍රිකට් බලය දියාරු වීමට හේතුවූ බොහෝ දෙනා නොදන්නා කාරණා හෙළිදරව් වීමකි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තවදුරටත් කොතරම් විනය පිරිහෙමින් පවතින්නේද යන්න අදහසක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ දඟපන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් මහතා පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පලකළ අදහස් ප්‍රමාණවත්ය. එහිදී අදහස් දැක්වූ මුරලිදරන්ගේ ප්‍රධාන මතෘකාව වූයේද ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහ ක්‍රීඩාවේ පැවැත්මට මෙන්ම දියුණුවට බලපාන අංක එකේ සාධකය යහපත් විනය බවය. නමුත් එම සංවාදශීලී වැඩසටහන පුරාම ඔහු ගෙනහැර දැක්වූ ප්‍රකාශ මඟින්ම ඔහු තුළ විනය පිරිහී ගොස් ඇති බව පැහැදිළි විය. එනම් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් කියමින් පෞද්ගලිකවම ක්‍රීඩකයින්ට පරිභව කිරීම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එවැනි ක්‍රිකට් ප්‍රවීණයෙකුගෙන් බලාපොරොත්තු නොවූවකි.

මුරලිදරන්ගේ අදහසට අනුව යම් ක්‍රීඩකයෙකු විනය ගරුක ක්‍රීඩකයෙකු විය යුත්තේ තම ස්වයං විනය පාලනයකින්ම පමණක් බවයි. එය හරයක් නොමැති කතාවකි. පාසැලෙන් ක්‍රීඩාව ආරම්භ කරනා සිසුවාගේ සිට ජාත්‍යන්තරය දක්වා එන ජ්‍යේෂඨ ක්‍රීඩකයෙකුගේ ගමනේදී ස්වයං විනය පාලනයකට පමණක් ඉඩදී තිබේ නම් පාසැලට ගුරුවරුන්, පුහුණුකරුවන් හෝ විදුහල්පති වරයෙක් අවශ්‍ය වන්නේ නැත. ජාතික ක්‍රීඩා කණ්ඩායමකට කලමණාකරුවෙකු අවශ්‍ය වන්නේද නැත. එනිසා ඕනෑම ක්‍රීඩකයකුගේ වෙනස් වන වයසත් සමඟ මෙන්ම කලින් කලට ලැබෙන වගකීමත් සමඟ ඔවුන්ගේ දියුණුව දක්වා යන ගමනේදී සවයං විනයක් පවත්වා ගෙන ගියද එය ප්‍රමාණවත් නොවන්නට පුළුවන. යම් ක්‍රීඩකයෙකුගේ විනය යහපත් ලෙස වැඩිදියු‍ණු කරගැනීමට තමන් මෙහෙයවන පරිපාලනයේ මඟපෙන්වීමද අත්‍යාවශ්‍ය කරුණකි. ඒ අනුව බැලූ විට කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙකු විනය කඩකරන්නේ නම් ක්‍රීඩකයා මෙන්ම අදාළ පරිපාලකයින්ද ඊට වගකිව යුතුය.

අනෙක අපගේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ ප්‍රශ්න මතුවීමට තවත් හේතුවක් වී ඇත්තේ ක්‍රීඩකයින් තම රටට වඩා මුදල පෙරට තබා කටයුතු කිරීමය. මුරලිදරන්ගේම වචන වලින් කියන්නේ නම් සල්ලි පෙරේතකම නිසාය. මෙම ලියුම්කරු ‍“පෙරේතකම“ යන වචනය භාවිතා කිරීමට අකමැති වුවත් ඔහු එම සාකඡ්චාවේදී යොදාගත් වචනයම මාහට මෙහිදී සඳහන් කිරීමට සිදුවන්නේ ඔහුටද සුපුරුදු වචනය එය වන්නට හැකි නිසා බැවිනි.

සල්ලි පෙරේතකම් පිළිබඳව මෙරට ක්‍රිකට් ඉතිහාසය ගැන කතා කළහොත් මුරලිදරන්ගේ නම ගෑවෙන තරම් සිද්ධීන්ට වර්තමානයේදී ඔහු විසින්ම නම් සඳහන් කළ ක්‍රීඩකයින් ගෑවී නොමැත. 2002-03 සමයේදී මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට මුත්තයියා මුරලිදරන් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරිකයකුද සම්බන්ධ සමාගමකට එක්වී කටයුතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අතරවාරයේය. එහෙත් ටික කලකින් පසුව එම අරාබි ජාතිකයා මුරලිදරන් එක්ව සමඟ සිදුකරන්නට ගිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණ ඉදිකිරීමේ ව්‍යපෘතියෙන් හදිසියේම ඉවත්ව ගිය අතර බැංකු ණයක් ලබාගෙන ඒ සඳහා මුදල් ආයෝජනය කළ මුරලිදරන් ඉමහත් අපහසුතාවන්ට පත්වූ බවද පැවැසේ. එම ආයෝජනය වෙනුවෙන් මුරලිදරන් රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 100ක ණය මුදලක් ලබා ගෙන තිබුණ අතර එය ගෙවා දැමීමට නොහැකිව සිටි මුරලිදරන් බේරා ගෙන තිබුණේ 2006 වසරේ බලයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයින්ගේ මැදිහත්වීම නිසාය.

එනම් මෙකී ණය මුදල නැවත බැංකුවට ගෙවා ගැනීමට නොහැකි වුවහොත් මුරලිදරන් විදෙස්ගතවී ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියන්ට ක්‍රීඩා කිරීමට යනු ඇතැයි යනාදී කරුණු පවසමින් එවකට සිටි කණ්ඩායම් නායකයා එකළ සිටි ක්‍රිකට් පාලකයින්ට අයාචනා කර ඇත. එසේ කෙඳිරිගෑමේ ප්‍රතිඵලයක් ලෙසත් එම ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ එකක් ලෙස ඒ වන විට යම් ඉදිකිරීම් ප්‍රමා‍ණයක් සිදුකර තිබූ බැවින්ද එවකට රජයේ ඉහළම පාලකයාගේද මැදිහත් වීමත් මත මුරලිදරන් ගත් රුපියල් මිලියන 100ක ණය මුදල සහ ඉදිකිරීම් ඇස්තමේන්තු අනුව තවත් රුපියල් මිලියන 25ක් සමඟ රුපියල් මිලියන 125ක් මුරලිදරන්ට ගෙවා එදින සිටි ක්‍රිකට් පාලනාධිකාරිය එම දේපල අත්පත්කර ගත් බව සඳහන්ය.

එම ව්‍යාපෘතිය සාර්ථක වූයේ නම් විදෙස් කණ්ඩායම් ගෙන්වා තරග පැවැත්විමේ ව්‍යාපාරයක්ද එකී අරාබි ජාතිකයා සමග සැළැසුම් කර තිබූ බව පැවැසෙන අතර අවසානයේ අමාරුවේ වැටෙන්නට ගියේ කාගේ සල්ලි පෙරේතකම නිසා දැයි අසන්නට සිදුවේ. මේවා අද ලිවීමට සිදුව ඇත්තේ මුරලිදරන් මහතාට අමතක වීමක් හෝ සිදුවී ඇති නිසා මෙන්ම මෙරට බෙහෝ ක්‍රීඩාළෝලීන් නොදන්නා කරුණු නිසාය.

තවදුරටත් සිදුකළ සල්ලි පෙරේතකම් ගැන සිහිපත් කරන්නේ නම් 2009 වසරේ පැවැති එංගලන්ත ක්‍රිකට් තරගාවලියට නොගොස් එම වසරේම ඉන්දියාවේ පැවැති අයි.පී.එල්. තරගාවලියට යායුතුම යැයි මුරලිදරන් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ සිව් දෙනෙක් ‍එකළ ක්‍රිකට් පාලකයින්ට එරෙහිව පොල්ල අතට ගත් හැටි (අදාළ වාර්තා පහත පළවේ) අපිට නම් මතකය. එසේ කළේ සල්ලි වලට පෙරේත නොවී තම රට පෙරට තබා කටයුතු කළ නිසාද ? එවන් තවත් ‍බෙහෝ අවස්ථා තිබුණි.

ඔහු එම සාකච්ඡාවේදී අවධාරණය කළ කරුණක් වූයේ තමන් හැම විටම මුදල් ගැන නොසිතා තමාගේ රට අංක 1ට තබා කටයුතු කළ බවයි. එහෙත් කිසි දිනක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකළ මුරලිදරන් රටින් පිටත කණ්ඩායම් වල පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා පමණක් නොව ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාව තුළදීම පුහුණුකරුවකු ලෙස කටයුතු කළේ මුදලට පෙර තම රට පෙරට දමා දැයි ඇසිය යුතුය. 2016 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සහ එක් දින තරග 5ක් ඇතුළු දීර්ඝ සංචාරයකට පැමිණ සිටි මෙහොතේ එම විරුද්ධවාදීන්ගේ දඟපන්දු යැවීමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කළේය. එපමණක්ද නොව එම සංචාරයේදී කොළඹ පැවැති තරගයකට පෙර තණතීරුව සකස් කිරීමට අනවශ්‍ය ලෙස මැදීහත්වීම සහ පල්ලේකැළේදී පුහුණවීම් වලට ගිය මෙහොතක ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරුවා සමඟ ප්‍රශ්න ඇතිකර ගනිමින් (අදාළ වාර්තා පහත පළවේ) තම රටේම ක්‍රිකට් පාලකයින් සමඟ හැප්පුනේ තමන් ක්‍රිකට් වලින් උස් මහත් කළ රටට වඩා සල්ලි පෙරේතකම නිසා නොවේද? අනෙක 1995, 96 හා 99 යන අවස්ථා තුනකදී මුරලිදරන්ගේ ක්‍රිකට් දිවිය නැති කරන්නට වළි කෑවේද ඔය ඕස්ට්‍රේලියානුවන්මය.

තවද එදින ඔහුගේ සජීවී කරුණු දැක්වීමේදී වත්මන් ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා ලෙස පත්කරගෙන ඇති ටොම් මූඩි පිළිබඳව පුරසාරම් වැපිරුවේය. මුරලිදරන් කියන පරිදි ටොම් මූඩි ආනයනය කළේ ලංකාවේ ක්‍රිකට් සැළැසුම් සහ ආකෘතිය සාදවා ගන්නට නම් ප්‍රශ්නය වන්නේ ඔය පත්කර සිටින මුරලිදරන් ඇතුළු ක්‍රිකට් උපදේශක කමිටුවේ පස්දෙනාට වඩා මූඩිට ඒ සඳහා ඇති විශේෂ දැනුම කුමක්ද යන්නයි. එසේ නම් ක්‍රිකට් පුහුණුකරුවන් රොත්තක් සමඟ එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මූඩිත් එක් වුයේ කුමටද ? මුරලිදරන්ට අනුව ඔහු ගියේ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන්ගේ කාර්ක්ෂමතාව පිරික්සීමටය. එසේ නම් අද වන විට ඉන්දියව සමඟ ලංකා කණ්ඩායම තරග වදින ‍මෙහොතේ මූඩි ලංකාවේත් නැත්තේ ඇයි?

මේවා විහිළු කතාය. දැනගන්නට ඇති පරිදි මූඩි මේ දිනවල එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ රාජකාරී කටයුතු වල යෙදී සිටී. ඔහු ලංකාවේ වියදමෙන්ම එංගලන්තයට පැනගත්තේ ඒ නිසාය. මුරලිදරන්ට අනුව නම් ඔහු දක්ෂ පුහුණකරුවෙකි. එම කියමනෙහි සත්‍යභාවය දැන් දියවෙමින් පවතී. පසුගිය අයි.පී.එල්. තරගාවලියේදී එකම පිලේ මුරලිදරන්ගේ අයි.පී.එල්. මිතුරා වන ටොම් මූඩිගේ කණ්ඩායම සහභාගී වූ තරග7න් 6ක්ම පැරැදී කණ්ඩායම් අටෙන් 8වැනි ස්ථානයට පත්විය. වාර්තා වන පරිදි ඉන්දීය අයි.පී.එල්. කණඩායමේ අධ්‍යක්ෂවරයා මෙහි පැමිණ අත්තේ “ඔයාට මම මෙහේ ජොබ් එක හදල දෙන්නම් මට එහේ හදල දෙනවානම්“ යන න්‍යාය සාර්ථක වූ නිසාය.

කෙසේ වෙතත් මුරලිදරන් විසින්ම එහිදී සඳහන් කළ පරිදි ඇන්ජිලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් තමන්ගේ නොහැකියාව වසා ගන්නට වෙනත් කොන්දේසි ඉදිරියට දමන ක්‍රීඩකයින්ය. නමුත් එම අදහස තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් තුල තවදුරටත් ක්‍රිකට් ඉතිරි වී ඇති බව මෙම ලියුම්කරුගේ අදහසයි. චන්දිමාල් සහ තිරිමාන්න ගත්තත් එසේ තවමත් කණ්ඩායමට අවැසි ක්‍රීඩකයින්ය. අවසන් වශයෙන් කිවයුත්තේ ඔය කල්ලියේ අනෙක් අයගේ සල්ලි පෙරේතකම් ගැනත් ලියන්නට බෙහෝ දේ ඇතත් පාඨකයාට කියවන්නට කම්මැළි වන්නට තරම් මෙම ලිපිය තවත් දීර්ඝ විය හැකි බැවින් අදට නවතිමි.

  • සිරිනාම රාජපක්ෂ