පන්සලේදී සරා එක්ක පැටලුණ දවසේ ගෙදරට මරණ දැන්වීමක් එවලා….සරාට ගේම දෙන්නේ ඇයි කියලා යාළුවෝ පවා බනිනවා

කරඬුතැන්න ගැටගේ ලේකම් මහත්තයා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර දන්නවා. ලේකම් මහත්තයා පැටලෙන්නේම සරා එක්ක. සාරාට ගේමක් දෙන්න සෙට් වෙන්නේ නැති චරිතයක් නැහැ. සාරාට ගේමක් දෙන්න කියලා හිතාගෙනම මේ දවස්වල කුකුළා මුදලාලි එක්ක සෙට් වෙලා. ඇත්තටම මේ ලේකම් මහත්තයා කවුද? ලේකම් මහත්තයා කියන්නේ ඇත්තටම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ඉන්නඅමුතුම චරිතයක්.

* නාඩගම්කාරයෝ ලේකම් මහත්තයාට ජීවය දෙන්නේ කවුද?

ලේකම් මහත්තයාගේ චරිතය පණ පොවන්නේ සිල්වෙස්ටර් පියල්. ඒ මම තමයි.

* එතකොට සිල්වෙස්ටර් පියල්ගේ විස්තර?

මගේ තාත්තා ගොවියෙක්. මම පදිංචි කඳාන නාගොඩ ගමේ. මම වසර ගණනාවක් විදෙස් ගතවෙලා හිටියේ. දැන් මම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. විවාහකයි. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව වෛද්‍යවරියක්‌. දෙවැනි දුව සෙන්ට් බි‍්‍රජට් විදුහලේ ඉගෙනුම ලබනවා. පුතා සෙන්තෝමස් විදුහලේ ඉගෙන ගන්නවා. මගේ බිරිඳ ආයුර්වේද වෛද්‍යවරියක්‌.

* සිල්වෙස්ටර් පියල් කියලා කතා කරන්නද?

නැතිනම් ලේකම් මහත්තයා කියලා කතා කරන්නද? ඇත්තටම සිල්වෙස්ටර් පියල් කිව්වහම දන්නේ අපේ ගමේ අය විතරයි. නමුත් ලේකම් මහත්තයා කිව්වහම මුළු රටම දන්නවා.

* සිල්වෙස්ටර් පියල් ලේකම් මහත්තයා වෙන්න කලින් මොනවද කළේ?

මම පොඩි කාලේ ඉඳන් කලා කටයුතු කළා. විදෙස් ගතවෙලා ඉන්න කොටත් නාට්‍යවරඟපෑවා. ලංකාවට ආවට
පස්සේ මම නාට්‍ය කිහිපයක කුඩා චරිත රඟපෑවා. සමහර මිනිස්සු මාව දන්නේ නැහැ.
ඊට පස්සේ මට චාමර සමරවික‍්‍රම කියන මිත‍්‍රයාව මුණ ගැසෙනවා. ඊට පස්සේ ඔහුගේ කළු අරලිය ටෙලි නාට්‍යයේ වැඩ කළා. එතැනදී මම ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයා මුණ ගැසුණා.

* ඊට පස්සේ මොකද වුණේ?

එතැනින් පස්සේ ශිවා අයියාගේ කෝටිපතියෝ හාරකෝටිය, හිරු ඇවිදින් කියන නාට්‍යවල මට රඟපාන්න අවස්ථාව ලැබුණා.

* ලේකම් මහත්තයාට මගතොටේදී ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

සමහරු මට බයයි. රූගත කිරීම්වලදී මාව දැක්කහම සමහරු දුවනවා. ගොඩක් අය මට ලේකමා කියලා බනිනවා. හිතාගන්න බැරි තරම් ප‍්‍රතිචාර ලැබෙනවා
.
* සරාට ගේම දෙන්නේ ඇයි කියලා බනින්නේ නැතිද?

මගේ යාළුවෝ පවා මට කතා කරලා බනිනවා. ඔවුන් කියනවා මචං අපි උඹත් එක්ක තරහයි. ඇයි මේ සරා එක්කම ගේම ඉල්ලන්නේ කියලා. ඒක ඉතිං පිටපතනේ. පිටපතේ තියෙන දේමයි මම කරන්නේ කියලා ඔවුන්ට තේරුම් කරලා දෙනවා. සමහරු කියනවා උඹ මේ චරිතය නියමෙට කරනවා. ඇයි බං මේ සරා එක්කම එල්ලෙන්නේ ඒකනේ අපිට තරහ යන්නේ. පියල් අයියා කවුද කියන්න අපි දන්නවා කියලත් කියන අය ඉන්නවා.

* පාරේ යද්දී ගුටිකන්න වුණඅවස්ථා නැත්ද?
දායක සභාවේ සරා මට ගහපු දර්ශනය විකාශනය වුණ දවසේ මට ගෙදරට මරණ දැන්වීමක් පවා එවලා
තිබුණා. මුහුණු පොත හරහා මට කතා කරලා උඹව හම්බ වුණොත් ගහනවා
කියලා කියන අයත් ඉන්නවා.

* ගෙදරට මරණ දැන්වීම ආපු දවසේ හැමෝම බය වුණා කියන්නේ ඇත්තද?

ඇත්තටම ගෙදර අයත් බය වුණා. මගේ අයියල පවා ඇහුවේ ඇයි මේ චරිතයට මෙච්චර මිනිස්සු වෛර
කරන්නේ කියලා. මම කිව්වා වරිගයේ ස්වභාව නේ කියලා.

* ඒ වෙලාවේ ලේකම් මහත්තයාට මොකද හිතුණේ.

ඇත්තටම මට හරි සතුටුයි. මිනිහෙක් ගැහැව්වත් මට ප‍්‍රශ්නයක් නැහැ. සරා ගේ වාඩියට ගිනි තිබ්බා කියපු
දවස්වල මිනිස්සුන්ට මාත් එක්ක මාර වෛරයක් තිබුණේ. මට ගහන්න තරම් කේන්තියෙන් හිටියේ. අන්තිමේ මම ඒ ගොල්ලන්ට කතා කරලා තේරුම් කරලා දුන්නහම මට මාර ආදරෙයි. අපි හිතපු ලේකම් මහත්තයා නෙමෙයිනේ මේ කියලා. මම පපුදුමාකාර විදිහේ යාළුවෝ ගොඩක් ඇතිවුණා.

* රංගනය ඔබේ වෘත්තියද?

මම ඉදිකිරීම් තමයි කරන්නේ. ව්‍යාපාරිකයෙක් හැටියට කාලය කළමනාකරණය කරගෙන රංගනයේ යෙදෙනවා.

* ඉස්සරහට ලේකම් මහත්තයාද දිනන්නේ සරාද දිනන්නේ?

සරා හැමදාම දිනනවා. දවසක ලේකම් මහත්තයා තේරුම් ගන්නවා සරා කියන්නේ කවුද කියලා. සරා කියන්නේ කවුද කියලා ලේකම් මහත්තයා තේරුම් ගන්න දවසට මිනිස්සු මට ආදරේ කරාවි.

දිනේෂ් විතාන