වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මහපුටුව නලීන් වික්‍රමසිංහට.

 

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ (එම්.සී.ඒ.) 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (29දා) කොළඹ
-7 පිහිටි එම සංගම් පරිශ්‍රයේදී පැවැති අතර හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වන නලීන් වික්‍රමසිංහ
මහතා 42වැනි එම්සීඒ සභාපතිවරයා ලෙස අභිනවයෙන් පත්කර ගන්නා ලදී. වර්තමානයේදී පනවා
ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම හේතුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම මහා සභා
රැස්වීම පවත්වන ලද අතර එම්සීඒ. තරගාවලි කමිටුවේ හිටපු සභාපති තරින්ද්‍ර කළුපෙරුම මහතා නව
මහා ලේකම්වරයා ලෙස පත්විය.

තවද 2007 වසරේ සිට එම සංගමයේ විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස විවිධ තනතුරු දරමින්
සේවය කොට ඇති නලීන් වික්‍රමසිංහ මහතා 1982 මාර්තු මාසයේ සිට 2020 වසරේ මැයි මාසය දක්වා
මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක කලමණාකාරවරයෙකු ලෙසද සේවය කළේය. එම බැංකු
කලමණාකාර තනතුරෙන් විශ්‍රාම යාමෙන් පසුව ඉතා කෙටි කලකින් ගොඩනැගිලි තැනීම් ක්ෂේත්‍රය
තුළ ඉහළම ස්ථානයකට පත්ව ඇති මොඩ් ඉංජිනේරු සහ ඉදිකිරීම් සමූහ ආයතනයේ
සාමාන්‍යාධිකාරීවරයා ලෙස වික්‍රමසිංහ මහතා වර්තමානයේදී කටයුතු කරයි.

එම්සීඒ. නව සභාපති නලීන් වික්‍රමසිංහ මහතා 1980 වසරේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ
ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරීය. තවද වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මීට වසර ගණනාවකට
ඉහතදී සංවිධානය කළ ‘ඩී’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට ඔහු එවකට සේවය කළ වාණිජ බැංකු
කණ්ඩායම නි‍යෝජනය කරමින් සහභාගී වූ‍යේ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරමිනි.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (එම්.සී.ඒ.) 1911දී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති අතර වි‍ශේෂයෙන් ශ්‍රී
ලංකාව තුළ වෙළඳ අංශයේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාමත් ක්‍රිකට් පුහුණු කටයුතු මෙන්ම
ප්‍රවර්ධනය කිරීමත් මෙම ආයතනය සතු ප්‍රධාන කාර්ය භාරයකි.
1911 සිට 1965 වර්ෂය දක්වා බ්‍රිතාන්‍ය ජාතිකයින් 14 දෙනෙකු මෙම වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ
සභාපතිවරුන් ‍ලෙස කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු එම්.සී.ඒ.
සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ 1965 වසරේදීය. එනම් එකළ අද්විතීය ව්‍යාපාරිකයකු ලෙස
මෙරට තුළ කීර්තිමත් නමක් දරා සිටි චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ප්‍රථම ශ්‍රී ලාංකික එම්.සී.ඒ. සභාපතිවරයා
ලෙස පත්කරගනු ලැබීය.

එතැන් පටන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි සේවාවක් ඉටුකරන මෙම ආයතනයේ නව
සභාපතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා පත්වීමට පෙර ගෙවී ගිය වසර දෙකක කාලය තුළ සභාපති ධූරය
හොභවන ලද්දේ ඩේවිඩ් පීරිස් සමූහ ආයතනයේ සභාපති සහ කලමණාකාර අධ්‍යක්ෂ ධූරය දරණ
රෝහණ දිසානායක මහතා විසිනි.

2021/22 වර්ෂ සඳහා පත්වූ එම්සීඒ නව විධායක සභාව මෙසේය.

සභාපති : නලීන් වික්‍රමසිංහ – මොඩ් ඉංජිනේරු සහ ඉදිකිරීම් සමූහය

උප සභාපතිවරුන් : මහේෂ් ද අල්විස් – ෆෙයාර්ෆස්ට් රක්‍ෂණ සමාගම.
: තුෂාන් අමරසූරිය – සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී.
: සිරෝෂ ගුණතිලක – ට්‍රෙන්ඩෙක්ස් ලංකා සමාගම.

ප්‍රධාන ලේකම් : තරින්ද්‍ර කළුපෙරුම – ස්ටැෆර්ඩ් මෝටර්ස්.
සහකාර ලේකම් : රොහාන් සෝමවංශ – ඩීඑස්අයි සමූහය.
භාණ්ඩාගාරික : අචින්ත හේවානායක – ඩීඑෆ්සීසී බැංකුව.
සහකාර භාණ්ඩාගාරික: සංජය විජේසිංහ- සීමාසහිත ෆර්ස්ට් ‍චොයිස් සමාගම.

පත්කර ගත් ස්ථිර නියෝජිතයින් හයදෙනා : දුමින්ද පින්ටෝ – ශ්‍රීලංකා මර්චන්ට් බැංකුව
: පීකේ අබේගුණසේකර – ජෝන් කීල්ස් සමූහය
: අජිත් සියඹලාපිටිය – එම්ඒඑස් යුනිචෙලා
: සජිත් අත්තපත්තු – ආසියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී
: හසිත දසනායක – සීඩීබී. ෆිනෑන්ස්
: ලක්මාල් ද සිල්වා – ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම

  • සිරිනාම රාජපක්ෂ