පොලිසිය සහ පොලිසිය ගුටි ඇණ ගනියි

වරකාපොළ 36 කන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරී කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගුටි බැට හුවමාරුවකට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගුටි කෙළියට සම්බන්ධ පොලිස් කණ්ඩායම් දෙකම ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සිට අතර දෙපාර්ශ්වයම එකිනෙකා හඳුනාගෙන නොමැති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගුටි බැට හුවමාරුවෙන් තුවාල ලැබී යැයි කියමින් දෙපාර්ශ්වයේම උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු රෝහල්ගතව ඇතැයි කෑගල්ල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සහ මාරවිල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රඹුක්කන ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී රාත්‍රියේ ජීප් රථයකින් එමින් සිටියදී තවත් වාහනයක ගමන් ගත් පිරිසක් සමග ඇතිවූ බව කියන වචන හුවමාරුවක් දුර දිග ගොස් මෙම ගුටි බැට හුවමාරුව සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.