ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. 

පසුගිය දා නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති කරුණු පිලිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කැඳවා තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාට මෙම කැඳවීම කර තිබේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාට අනුව විවිධ පාර්ශවයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හානි සිදුවූ බව එම මහතා විසින් නිකුත් කල නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව වික්‍රමසිංහ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයෙන් 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි, ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පවාදීම, දූෂණය, නීතී විරෝධි මෙහෙයවීම සහ නීතී විරෝධි ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳව තොරතුරු ඔහු දන්නා බව ප්‍රකාශ කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දී තිබේ.