දුම්රිය වර්ජනය සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකය.

වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ දුම්රිය වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මෙන්ම දිවයිනේ දුම්රිය ස්ථාන රැසක දක්නට ලැබුණේ පාළු ස්වාභාවයක්.

වර්ජනය ක්‍රියාත්මක කළ 25වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ වනතුරු උඩරට දුම්රිය මාර්ගයේ කිසිදු දුම්රියක් ද ධාවනය වී නැත.

දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමටයි.