දුම්රිය සේවකයන්ට වැඩ වරදීද..?

අසනීප නිවාඩු නොදමා සේවයට වාර්තා කර නොමැති සේවකයින් සේවය හැර ගියා සේ සලකන බව දුම්රිය සාමානාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි.

දුම්රිය සාමානාධිකාරීවරයා දක්වා ඇත්තේ මෙලෙස නොදන්වා සේවයට වාර්තා කර නොමැති දුම්රිය රියැදුරු, ස්ථානාධිපති, දුම්රිය නියාමක හා අධික්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවලට අයත් සියලුම නිලධාරීන් සේවයට වාර්තා නොකළ දින සිට වහාම සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අදට දින 7 කි.

මේ අතර, වැඩවර්ජනය පැවතියද අද උදෑසන කාර්යාල දුම්රිය 12 ක් ධාවනය කළ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යේෂඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මහනුවර, ගාල්ල, හලාවත, මහව, අවිස්සාවේල්ල, රඹුක්කන, වේයන්ගොඩ සහ ගම්පහ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රිය ධාවනය කළ බවයි.

විශ්‍රාමික නිලධාරීන් යොදවා මෙම දුම්රිය ධාවනය කරවන බව ද, එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.