මගේ ක්‍රිකට් දිවිය අවුරුදු 15 වෙන්න කළින් අවසන් වෙන්න ගියා – රොෂාන් මහානාම

ජීවිතය ජය ගැනීමට නම් කැපකිරීම් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු සහ ආරම්භක පිතිකරුවකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් තරග තීරකවරයකු වූ රොෂාන් මහානාම මහතා කියයි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ කරුණු ක්‍රීඩාවෙන් උගත හැකි බවත්, සාර්ථක ක්‍රීඩකයකු වීමට අභියෝග භාර ගත යුතු බවත් ඔහු පැවසීය.

සිලෝන් ක්‍රිකට් පදනමේ මෙහෙයවීමෙන් පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ශාලාවේදී පැවැති පාසල් ක්‍රීඩකයන්ට ක්‍රිකට් භාණ්ඩ බෙදා දීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස එක් වෙමින් රොෂාන් මහානාම මහතා මේ අදහස් පළ කළේය. ක්‍රිකට් භාණ්ඩ බෙදාදීමේ උත්සවය සිලෝන් ක්‍රිකට් පදනම විසින් සිව්වැනි වරටත් වාර්ෂිකව සංවිධාන කරනු ලැබූ අතර, බදුල්ල, කොළොන්න, කිලිනොච්චිය, මන්නාරම, කන්තලේ, චෙඩ්ඩිකුලම්, අඹගමුව, කැකිරාව ඇතුළු පළාත් රැසකින් පාසල් 20ක නියෝජිතයෝ එම අවස්ථාවට එක් වූහ. පාසල් ක්‍රීඩකයන්, ගුරුභවතුන්, පුහුණුකරුවන් සහ විදුහල්පතිවරුන් ද සහභාගි වූ මේ උත්සවයේදී රොෂාන් මහානාම මහතා වැඩි දුරටත් කියා සිටියේ අධ්‍යාපනය පාසලෙන් ගත හැකි වුවත්, ජීවිතයේ සාරධර්ම ඉගෙන ගත යුතු වන්නේ තම නිවෙසින් බවය.

“අවංකභාවය, විනිවිදභාවය, මිත්‍රත්වය, විනය, විශ්වාසනීයත්වය වැනි ගුණධර්ම පසෙක දමා තීන්දු තීරණ ගැනීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න එපා. අපි ක්‍රීඩා කළ කාලයේ මුදලට තැනක් දුන්නේ නෑ. මුදල් කියන්නේ මම මගේ ජීවිතයේ ගුණධර්මවලට පහළින් තැබූ දෙයක්. ඒත් වත්මන් ලෝකයේ හැමෝම මූල්‍යමය වාසි බලාගෙනයි වැඩ කරන්නේ. ඔබ මුදලට තැන දුන්නොත් ජීවිතයේ ගුණධර්ම ඔක්කොම පහළට වැටෙනවා. අවාසනාවකට අපේ රටේ නායකයන් අපිට එවැනි ආදර්ශ සපයලා නෑ. ඒත් මව්පියන්ට පුළුවනි මේ ගුණධර්ම දරුවන්ට උගන්වන්න. ජීවිතය ජය ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාර්ග රැසක් විවෘතව තිබෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පත් කර ගන්නත් දරුවන්ට අවස්ථාව තිබෙනවා.‘ මහනාම මහතා කීවේය.

“මගේ ක්‍රිකට් දිවිය අවුරුදු 15 වෙන්න කළින් අවසන් වෙන්න ගියා. මම පළමුවතාවට නාලන්දා විදුහලේ අවුරුදු 19න් පහළ කණ්ඩායමට තෝරා ගත් අවස්ථාවේදී මගේම සහෝදරයා ඇතුළු පිරිසක් කළු කොඩි, සුදු කොඩි එල්ලලා ඔවුන්ගේ විරෝධතාව ප්‍රකාශ කළා. ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්. අදටත් ඒ අමිහිරි සිදුවීම මගේ මතකයේ තියෙනවා. ඒක හරිම දුෂ්කර කාලසීමාවක් වුණා. මගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා මව්පියන් අතර ප්‍රශ්න ඇති වුණා. අම්මාගේ පාර්ශ්වයේ අය කොළඹ නම ගිය පාසල්වල අය. ඒත් මගේ තාත්තා කිව්වේ කෑලි කැපුවත් මාව නාලන්දාවෙන් අස් කර ගන්නේ නෑ කියලයි. මේ සිදුවීම් මාව දිරිගැන්වුවා. මම නාලන්දාවේ සිසුවකු වීම ගැන ආඩම්බර වෙනවා. ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පිට පිට දෙවතාවක්ම දිනා ගත් (1983 සහ 1984) පළමු ක්‍රීඩකයා මමයි. මම අභියෝග ජයගත්තේ එහෙමයි. මා දිහා බැලුවම මිනිස්සු හිතාවි මම හරි මෘදු කෙනෙක් කියලා. ඒත් අභ්‍යන්තරයෙන් මම හරිම ශක්තිමත්. අභියෝග නොසැලී බාර ගත්තා. මුල් වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්න කළින් මම ක්‍රීඩා කළේ අංක 5 හෝ 6 ස්ථානයේ. ඒත් මගේ මුල්ම ටෙස්ට් තරගයේදී මට ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න සිදු වුණා. පුහුණුකරුවන්ගෙන්, ගුරුභවතුන්ගෙන්, මව්පියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ දරුවන්ටත් අභියෝගවලට මුහුණ දෙන හැටි උගන්වන්න කියලයි.‘ ඔහු කියා සිටියේය.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිව්වැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු පාඨමාලාව සම්පුර්ණ කළ ආසියාවේ පළමු පුහුණුකරු වන තරිඳු පෙරේරා මහතා විසින් වසර 2017 දී ආරම්භ කරනු ලැබූ සිලෝන් ක්‍රිකට් පදනම මගින් මේ වනවිට මෙරට පාසල් රැසක ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් භාණ්ඩ බෙදා දීම සිදු කරන අතර, ඉදිරියේදී බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ද මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට අදහස් කර තිබේ. ඔහු දැනට එංගලන්තයේ වොරික්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් ප්‍රාන්ත පිලේ අධිතාක්ෂණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් වේගපන්දු යවන්නකු වන බිනුර ප්‍රනාන්දු, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් වික්‍රමසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.