අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 718 ක පරිත්‍යාගයක්

මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් මිලියන 718ක්) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර කිරීම සඳහා ගත් තීරණයකට අනුව මෙම ආධාරය ලබා දෙන බව මේ සම්බන්ධව නිල නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටී. ඒ අනුව ළමා ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් කොළඹ ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කෙරෙන අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් අපේක්ෂා රෝහල වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක්ද පරිත්‍යාග කෙරේ.
“රටට අවශ්‍ය මේ මොහොතේ මෙම පරිත්‍යාගය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකිවීම ගැන අතිශයින් සතුටට පත්වන අතර මෙවන් අභියෝගාත්මක අවස්ථාවන් ජය ගැනීම සඳහා අපේ රට වැසියන්ට අපගේ උපරිම සහයෝගය ලබා දෙන බවත්“ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම නිවේදනය මඟින් අවධාරණය කර සිටී.
මෙම ආධාරවල හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එම මුදල් වහාම අදාළ ආයතනවල නිලධාරීන් වෙත පරිත්‍යාග කිරීමටද පියවර ගෙන ඇත. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අපගේ ක්‍රීඩකයින්ට සහය දක්වන අපගේ ජනතාවට, සෑම විටම කොන්දේසි විරහිතව සහය වීමට ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ලෙස ඉදිරිපත් වීම අපගේ වගකීමක් බව අපට හැඟෙනවා,” යනුවෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසූ බව එම නිවේදනයේ සඳහන් වන අතර මැයි මස 24දා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම පරිත්‍යාගය අනුමත කළේය.