පාර්ලිමේන්තුවේ කතා හරඹය – ආණ්ඩුවේ තුනෙන් දෙක

  • දේශපාලනයේ තිත්ත ඇත්ත

ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පෙර සිටි ජනාධිපතිවරුන් හා සැසදීමේදී තමන් ජනාධිපතිවරයා ලෙස රටට ආදර්ශ රැසක් දී ඇති බවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුම් ඇති කර ගත යුතු නැති බවත් සිරිසේන මහතා කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයෙන් පසු නැඟී සිටිමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

ආණ්ඩුව මේ වන විට පත්ව ඇති අප්‍රසාදයට ඍජුවම වගකිව යුතු පුද්ගලයා කෘෂිකර්ම ඇමැතිවරයා බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් අප මිත්‍රශීලීව කටයුතු කළ යුතු බව කීවේය.

ගහන්න ඕනේ නම් ගහන්න සූදානම් බව අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටි බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා තමන් ගහ ගැනීමට සූදානම් නැති හෙයින් හැමදේම දෙස උපේක්ෂාවෙන් බලන පුද්ගලයකු බවත් එහෙත් ගහන්න අවශ්‍ය නම් ඊට ක්‍රමවේද දන්නා බවත් ප්‍රකාශ කළේය.

වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගැසීමට අකමැති බවත් තමන්ගේ මට්ටම්වලට ගැළපෙන ලෙස කතා කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි සොයා ගොස් රට අන්තර්ජාතික අධිකරණයට ගෙන යැම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය දරන උත්සාහයට කිසිසේත් එකඟ නැති බව විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පෙ අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ලුහු බැඳ, මෙරටට පමණක් සුවිශේෂි යන්ත්‍රණයක් සකස් කරමින් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑමට දරන මෙම උත්සාහය කිසිසේත් අනුමත නොකරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් මාසයේදී පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි එක්ලක්ෂවිසිදහසක ප්‍රමාණයක් ඇති බවට මහ කොමසාරිස්වරිය සඳහන් කළ බවත් එම සාක්ෂි මොනවාද, යන්න සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇති බවත් ඇමැතිවරයා කීය. එමෙන්ම නිර්නාමිකව, සැඟවී සිට ලබාදෙන සාක්ෂි පදනම් කරගනිමින් ස්වෛරී රටකට සිදුකරන බලපෑම් වලට ශ්‍රී ලංකාව කිසිසේත් එකඟ නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රටේ ආත්ම ගෞරවය, ස්වෛරී භාවය, අභිමානය හා තේජස සුරක්ෂිත වන අයුරින් මෙරට විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම අවස්ථාකදීම ඉල්ලා සිටින තොරතුරු ශ්‍රී ලංකාව ලබාදී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

අමාත්‍ය ජී එල් පීරිස් මහතා මේ බව සඳහන් කළේ විදේශ කටයුුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක වැය ශීර්ෂ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජී එල් පිීරිස් මහතා සඳහන් කළේ ලබන ජනවාරි මාසයේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම අයට රටේ ඕනෑම තැනකට යැමේ ඒමේ හැකියාව ඇති බවය.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා.(සජබ) – අද විවාදයේ දී විදේශ අමාත්‍යාංශය ගැන කතා කරන නිසා. විශේෂයෙන්ම විදේශ දූත සේවයට යම් කෙනෙක් යවනව නම් ඔහු හෝ ඇයගේ දක්ෂතා සැලකිල්ලට ගනිමින් යැවිය යුතුයි. අන්තර්ජාතික මාධ්‍ය නිදහස ලයිස්තුවේ ලංකාව ඉන්නේ අන්තිම සියය අතරයි. ආණ්ඩුව විධිමත්ව සහ අවධිමත්ව මාධ්‍යයට බලපෑම් කරමින් ඉන්නවා. අපේ රටේ මාධ්‍ය පුවත්පත් මණ්ඩලය දකින්නේ කැලෑ පොලිසියක් ලෙස. නියාමන ගෙන ආ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන විදියටයි. එසේ නොමැතිව ලෝක ප්‍රජාත්න්ත්‍රවාදය ඉදිරියේ අපේ රට හුදෙකලා කරන්න එපා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා (පොජපෙ) – හරියට විවේකයක්, නිවාඩුවක් නැතුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දෙන මාධ්‍යවේදින්ට මේ සභාවේ ගෞරවය පුද කර සිටිනවා. මාධ්‍යවේදියගේ කාර්යභාර්යත් ඉතාම දුෂ්කර කාර්යක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා. – මම මුලින්ම ජී.එල් පීරිස් මහත්මයට සතුට පළකර සිටිනවා ගැලැපෙන අමාත්‍යාංශයක් ලැබීම ගැන. මොකද එතුමන්ට කතාවෙන් අන්දවන්න පුළුවන්. හැබැයි හැම තැනකදිම එහෙම කරලා හරි යන්නේ නැහැ. පොදුජන පෙරමුණ ආණ්ඩුවක් පත් වුණ හැම අවස්ථාවෙම ජාත්‍යන්තරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තා.

මහාචාර්ය චරිත හේරත් මහතා (පොජපෙ) – ජනමාධ්‍ය ආමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. අපි එම ආයතන ගිය ආණ්ඩුවට බාර දුන්නේ ලාබ ඇතුව. එහෙත් අපි නැවත ගන්න කොට බොහෝ ආයතන රජයෙන් පවත්වා ගෙන යන්න සිදුවෙලා තිබෙනවා. අයිටීඑන් ආයතනය ලාබ ලබමින් 2015 පත්වුණ ආණ්ඩුවට දුන්නේ. රූපවාහිනිය සමබරව ගෙනිච්චා. අද ඒ සියලු ආයතන මුදල් අර්බුදයකට ලක්වෙලා. ඒ වගේම තැපැල් දෙපාර්තමෙන්තුව මේ අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ. අපේ රටේ තැපැල් දෙපාර්තමෙන්තු අලුත් කරන්න ඕන. ගුවන් විදුලි සංස්ථාවත්, රූපවාහිනි සංස්ථාවත් දේශපාලන ක්‍රියාදාමයෙන් උඩට උස්වන්න, බීබීසී තැනට පත්කරන්න අපේ ආණ්ඩුව සැලැසුම් කළා. ස්වාධීන රූපවාහිනියත්, ලේක්හවුස් ආයතනයත් ක්‍රමවේද දෙකක්. මේ ආයතන දෙක එක ක්‍රමවේදය එක විදියට හදන්න කියලා ඉල්ලා සිටිනවා. තැපැල් දෙපාර්තමේන්තුව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක ක්‍රමවේදයකටත් ගෙන එන්න ඕන. ආචාර ධර්ම, පුහුණුව සියලු දේට වැදගත් කරුණු. පුවත්පත් මණ්ඩල පනත කියන්නේ එක ආණ්ඩුවකට ආයත් එකක් නෙවෙයි. මොකද එය පාර්ලිමේන්තුවට අයිති දෙයක්.තොරතුරු දැනගනීමේ පනත ගිය ආණ්ඩුව ගෙන ආවා. ඒ ගැන අපේ ප්‍රසාදයක් තිබෙනවා. එය අප ඒ විදියට ගෙනි යනවා. රූපවාහිනී ඩිජිටල්කරණය නතර වෙලා තිබෙනවා. මම හිතනවා ඇමැතිවරයා ඒ ගැන අවධානය යොමු කරාවි කියළා. මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනයක් හදන්න ඇමැතිවරයා යෝජනාවක් ගෙනත් තිබෙනවා. එය ගැන මම සතුටු වෙනවා. විශ්විද්‍යාලවල වවිධ පාඨමාලා තිබෙනවා. මේ තුළින් අපිට පුළුවන් ගුණාත්මක මාධ්‍යකරණයක් ඇති කරන්න. රාජ්‍ය මාධ්‍ය සියල්ල ඩිජිටල්කරණයට ඇතුළු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (සජබ) – කින්යාවේ පෙරැළුණු පෙරිය ගැන නිමල් ලන්සා රාජ්‍ය ඇමැතිවරයා අපිට චෝදනා කළා. එය කරගෙන යන්න නිමල් ලන්සා අවසර දීලා තිබෙනවා. ඒත් පාර්ලිමේන්තුවේදි තව එකක් කතා කරනවා. හරි නම් ලාන්සා මහත්මයා වගිකීම අරගෙන ඉල්ලා අස්වෙන්න ඕන. ඔහු කියලා තිබෙනවා එතුමන්ගේ අවසර ඇතුවයි පෙරිය කරගෙන යන්නේ කියළා.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා – 2021-07-09 වැනිදා විපක්ෂය මන්ත්‍රීවරු කිව්වා මහා මාර්ගයෙන් එද්දි වැඩි දුරක් එන්න වෙනවා ඒ නිසා පෙරියක් දාල දෙන්න කියළා. ඒ අනුව පෙරිය දාන්න අවසර දෙන්න කටයුතු කරද්දි කින්යා නගර සභාවේ සභාපතිවරයා තමයි පෙරියක් ලබා දුන්නේ. මම ඒ සඳහා අවසර දෙනවා. අවසර දීමෙන් බලාපොරොත්තු වුණේ නැහැ අබලන් පෙරියක් දාන්න. තවුපික් මන්ත්‍රීවරයා මගෙන් අවසර ඉල්ලුවා. මම පැහැදිලිව කියනවා අවසර දුන්නා. ඒ මහාමාර්ග අමාත්‍යාංශයෙන් පෙරියක් දාන්න. කින්යා නගර සභාවෙන් දුන්න අවසරය පිළිගන්නවද?. මුජිබර් මන්ත්‍රීවරයා හැමදාම පාර්ලිමේන්තුවේදී බොරු කියනවා. පාස්කු ප්‍රහාරයට මේ අය වග කියන්න ඕන. කතෝලික ජනතාවගේ මරණය මුජිබර් මන්ත්‍රීවරයා ඇතුළු සියලු දෙනා වගකීම බාර ගත යුතුයි. මේ අයට මිනී මැරීම ගැන දඩුවම් ලබා දිය යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අනූප පස්කුවල් මහතා (පොජපෙ) – ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ඉතා දුෂ්කර වාර්තාකරණයකයි යෙදෙන්නේ. ඒ අයට පහසුකම් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි ලබා දෙන්න වැඩසටහනක් තිබෙනවා. ඒ අයට එම යතුරු පැදි ලබා දෙන්න පුළුවන්නම් ඉතාම වැදගත් . බැංකු පහසුකම් කිසිම දෙයක් නැහැ. දුෂ්කර ආර්ථික තත්ත්වයකයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉන්නේ. ඔවුන් ඇගයීමේ ක්‍රමයක් නැහැ. සියලුම මාධ්‍ය ආයතන සමඟ නිදහසේ වැඩ කරන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අවස්ථාව සලසා දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.

පත්කළ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා. (පොජපෙ) – යහපාලන ආණ්ඩුව කාලේ අපේ මානව හිමිකම් ආරක්ෂා කරන්න කිසිම දෙයක් කළේ නැහැ. එම නිසා ඔවුන්ට දෙමළ ජනතාවගේ ඡන්ද පවා අඩු වුණා.

(දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.)

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (ස.ජ.බ.) – මංගල සමරවීර මහතාගේ භස්මාවශේෂවලට අවසන් ගෞරව දැක්වීම සඳහා අද කොළඹට ගෙනැවිත් තිබෙනවා. එතුමා හිටපු විදෙස් කටයුතු අමාත්‍යවරයෙක්. එතුමා දක්ෂ අමාත්‍යවරයෙක්. එවැනි අයෙක් අද නැහැ. මේ කොවිඩ් වසංගතය ආයුධයක් කරගෙන තිබෙනවා. එක ජාතියක් මේ වසංගතය පතුරන බවට ප්‍රකාශ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරනවා. හිජාස් හිස්බුල්ලාට එරෙහිව නඩුව තවමත් පවතිනවා. විදෙස් කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සිදු වන කටයුතු පිළිබඳ වැඩ වශයෙන් සොයා බැලිය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (පො.ජ.පෙ.) – මෙරට නිදහස පිළිබිඹු වන්නේ ජනමාධ්‍යවේදියාගේ නිදහස අනුවයි. දිගු කාලයක් පැවැති ඉතිහාසයත් සමඟ ජනමාධ්‍යවේදියාගේ නිදහස නිර්මාණය වෙනවා. අද වන විට මාධ්‍ය දියුණුයි. ඒ දියුණුව තුළ අසත්‍ය, නින්දිත තොරතුරු මාධ්‍ය තුළ පළ වෙනවා. මේ ගැන රජය කලබල නොවිය යුතුයි. හිටපු මාධ්‍ය ඇමැතිවරයකු විදිහට මම දකින දෙයක් තිබෙනවා රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ලෙස දෙකක් තිබෙනවා. මාධ්‍ය කලාව නැවත ප්‍රති සංවිධාන විය යුතුයි. ලෝකයේ රටවල් සමඟ මිත්‍රත්වය ඇති කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශය බලපානවා.

පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය (ජා.ජ.බ.) – මාධ්‍ය නියාමනයක් සිදු නොකරන බවට ඇමැතිවරයා ප්‍රකාශ කළා. මාධ්‍ය කර්මාන්තය නිසි වෘත්තියක් බවට පත් කළ යුතුයි. රටේ කීර්ති නාමය රැකෙන පරිදි මාධ්‍ය සමඟ හැසිරිය යුතුයි. ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සිද්ධිය වැනි සිද්ධීන් නිසා රටේ කීර්ති නාමයට ගැටලුවක් ඇති වෙනවා. අන්තර්ජාතික විශ්වාසය ඇති වන පරිදි අපි රටක් විදිහට කටයුතු කළ යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (පො.ජ.පෙ.) – කිසියම් පුද්ගලයකුගේ චරිතය ඝාතනය පොල් ගෙඩි අකුරෙන් යනවා. නමුත් එහි නිවැරදි කිරීමක් කරන විට කුඩා අකුරෙන් වාටියේ යනවා. එය වෙනස් කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා.

(ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා මුලසුනට පැමිණියේය.)

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (ස.ජ.බ.) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිවැරදි ලෙස යන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට ශක්තියක් ලැබුණේ කෙසේද කියලා අපි දැන ගත යුතුයි. වතිකානයේ කතෝලික සභාව පවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ ගැන අවධානයෙන් සිටිනවා.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා – නීතියට අත තබන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අධිකරණය පරීක්ෂණ සිදු කරනවා. දෙසිය ගණනකට නඩු පවරා තිබෙනවා. 583 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පරීක්ෂණ තවමත් යනවා. ඉවර නැහැ.

නිරෝෂන් පෙරේරා මහතා – මේ සිද්ධිය වෙලා වසර එක හමාරක් ගතව තිබෙනවා.

දිලුම් අමුණුගම මහතා – හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මේ සිද්ධියට වග කිව යුතුයි. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් නැහැ.

නිරෝෂන් පෙරේරා මහතා

හිටපු නීතිපතිවරයා කියනවා නම් මහා කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. ඒක ගැටලුවක්.

දිලුම් අමුණුගම මහතා – ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වූ විදිහ ගැනත් ප්‍රශ්න තිබෙනවා.

නිරෝෂන් පෙරේරා මහතා – ඔබතුමාලා මේකට සාධාරණයක් ඉටු කරන්න.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා (ස.ජ.බ.) – කින්නියා පාලම සම්බන්ධයෙන් බොරු දේවල් මේ සභාවේ කියා තිබුණා.කින්නියා නගරාධිපති රියාස් මගේ නෑදෑයෝ කියලා කීවා. . හැබැයි හොයලා බැලුවොත් තවුෆික් මන්ත්‍රීවරයාගේත් නෑදෑයෙක් වෙයි. දේශපාලනයෙන් තොරව මේ ගැටලුවලට විසඳුම් දිය යුතුයි.

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා – අපි පාරුවලට අවසර දී නැහැ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා (පො.ජ.පෙ.) – යාපනයේ දූපත් ගණනාවක් තිබෙනවා. මේ දූපතක පැරඩයිස් එකක් නිර්මාණය කළොත් ලෝකයේ ලොකු සල්ලිකාරයෝ අපේ රටට පැමිණේවි. අපේ මුහුද ගොඩ කර සත්වෝද්‍යානයක් හදන්න හැකි නම් මුහුද මැද ඉදි කළ ලෝකයේ පළමු සත්වෝද්‍යානය බවට එය පත්වේවි. එවිට ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වෙයි. සංචාරකයන් වැඩි වශයෙන් එවිට පැමිණෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (ස.ජ.බ.)

තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒමට අපේ කාලයේදී අපට හැකි වුණා. ඒ ඓතිහාසික පනත මේ සභාවේ ඒකමතික කැමැත්ත අනුව අනුමත කළා. ස්වයං මාධ්‍ය නියාමන ක්‍රමයකට පැමිණිය යුතුයි. රාජ්‍ය මාධ්‍යයට පමණක්ම නියාමනය නිවැරදි නොවේ. ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම්, මුහුණුපොත යනාදි සමාජ මාධ්‍ය අසත්‍ය දෑ ප්‍රචාරය කරන්න භාවිතා කරනවා. ඉදිරියේදී පත්වන මාධ්‍ය ඇමැතිවරුන්ට ලොකුම ගැටලුව බවට සමාජ මාධ්‍ය පත්වේවි. මාධ්‍ය කොතරම් ජනතාවට තොරතුරු දුන්නත් ජනතාවට තොරතුරු ගැන විශ්වාසයක් නැතිව ගිහිං. හේතුව උදේ ගහන ගැසට් එක රෑට වෙනස් වෙනවා. එතකොට ජනතාවට තොරතුරු ගැන අවිශ්වාසයක් ඇති වෙනවා.

පත් කළ මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා (ස.ජ.බ.) – විදේශ ප්‍රතිපත්තිය ගැන මංගල සමරවීර මහතා ලබා ගත් ජයග්‍රහණ තිබෙනවා. ලෝකයත් සමඟ ශ්‍රී ලංකාව යා කරන්න ඔහු කටයුතු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා (දෙ.ජා.ස.) – ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතාව ගැන මීට දින දෙක තුනකට පෙර වත්මන් විදෙස් ඇමැතිවරයා මතය ඉදිරිපත් කළා. ඉන්දියාව සමඟ තිබෙන ගනුදෙනුව අනුව තමයි ශ්‍රී ලංකාව සමෘද්ධිමත් කළ හැක්කේ.

කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා. – කොවිඩ් වසංගතයත් එක්ක ප්‍රායෝගික ප්‍රශ්න තිබුණා. එම නිසා තානාපති කාර්යාලවල යම් යම් අඩුපාඩු තිබෙනවා. ඉස්සර හිටපු විදේශ ඇමැතිවරුන් නම් ආණ්ඩුවවත්, කැබිනට් එකවත් දැනුවත් නොකර තමයි විදේශ ගිවිසුම්වලට අත්සන් කළේ. එහෙත් අපේ විදේශ ඇමැතිවරු එහෙම කරන්නේ නැහැ. සමඟි ජන බලවේගයත් අද ක්‍රියාත්මක කරන්නේ මංගල සමරවීර මහත්මයාගේ විදේශ ප්‍රතිපත්තියද කියලා මම දන්නේ නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා. (සජබ) – ජනමාධ්‍ය ගැන කතා කරන වෙලාවේ කින්නියා වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පහර දීමක් වෙලා තිබෙනවා. ජනමාධ්‍ය අවභාවිතාව ගැන කතා කරනවා. මාධ්‍යයෙන් ගෙනියන බොරු නාඩගම් ගැන අපි කතා කරනවා. දේශපාලන මෙහෙයුම් වෙනුවෙන් ඒ දේවල් වුණා කියන එක අපි දන්නවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා. (සජබ) – ආණ්ඩුවේ අස්ථාවරභාවය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා. . යහපාලන ආණ්ඩුව කාලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය කළ දේ දිට්ට දම්මවේදනීය කර්මය වෙලා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (සජබ) – ඇතැම් මාධ්‍ය සමහර පිරිස් නග්ගලා චරිත හදන්න උත්සාහ ගන්නවා. ජාතික රූපවාහිනිය යම් වෙනසක් තිබෙනවා. අයිටීඑන් රාජපක්ෂ කුණු හොඳන ලොන්ඩරියක් වෙලා. එය වහලා දාන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (සජබ) – අද විවාදය පවත්වන අතරතුර මට මතක් වෙන්නේ දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතා. එතුමා විශාල සේවාවක් මේ රට වෙනුවෙන් ඉටුකළා. අපේ රටට අවශ්‍ය එන්නත් ලබාගැනීම වෙනුුවෙන්ද එතුමා මැදිහත් වුණා . නමුත් එතුමා ඒ ගැන රටට කියන්න ගියේ නැහැ. නිහඩව තමන් විසින් සිදුකළ යුතු දේ සිදුකළා. උගත් පාඩම් කොමිෂන් සභාව ක ක්‍රියාත්මක වුනේ මහින්ද රාජපක්ෂ වකවානුවේදී. එහි නිර්දේශ ගොඩක් තිබුණා.

විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා – අපේ රටට හුදෙකලාව ජීවත් වෙන්න බැරිබව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ විය යුතු බවට එය අඛන්ඩව සිදු කෙරෙනවා. එතුමා ජ්‍යේෂ්ඨ මහජන නියෝජිතයෙක්. මම එතුමාට කිව යුතුයි අපි රටක් ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා නිවැරදි ලෙස පවත්වාගෙන යන බවට.

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා (සජබ) – ජාතික රූපවාහිනි ආයතය තුළ දේශපාලන පළිගැනීම් සිදු වෙනවා. සේවා අවශ්‍යතා මත කියලා හතර දෙනෙක් මාරු කළා.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව විශාල සංඛ්‍යාත ප්‍රමාණයක් තිබෙනවා. මේවා නිවැරදි ලෙස භාවිත කරන්න. මුස්ලිම් සේවය වසා දමන්නට උත්සාහ කළා. අමාත්‍යවරයාට කතා කරලයි මේක නතර කර ගත්තේ. නමුත් අද වනවිට මේ සේවයට අධ්‍යක්ෂවරයෙක් නැහැ. ඒ නිසා මේවට හිතවත් අය නොදා සුදුසු දක්ෂ අය දාන්න. සමබර මාධ්‍ය ඇමතිවරයෙක් සිටින අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය ආයතන විසිනුත් සමබර ලෙස පුවත් පළකල යුතුයි.සමබර අමාත්‍යවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය ඇමතිවරයා ලෙස සිටින අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය ආයතනත් සමබර විය යුතුයි.