පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (01දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. ඒ ජනාධිපති කාර්යාලයේ දී එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසිනි.
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වැනිදා කොමිසම පත් කරනු ලැබීය. ඒ අනුව එහි පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවැනි අතුරු වාර්තාව 2020 මාර්තු මස 02 වැනිදා යන දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විය.
කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ අය ඔවුන් අතර වූහ. වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06 කින් සමන්විතය.
පසගිය 2019 අප්‍රේල් මස 21 වැනිදා හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදු කෙරිණ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථානය, ෂැංග්‍රිලා, කිංස්ග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ප්‍රහාරයට ඉලක්ක විය. දෙමටගොඩ දී සහ දෙහිවලදී ත්‍රස්තවාදීහූ දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්හ. ඒ අනුව ප්‍රහාරයෙන් පුද්ගලයින් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.