ශ්‍රී ලංකා ඔරු පැදීමේ ක්‍රීඩාව ඔපවත් කරන්න චීන ඩ්‍රැගන් බෝට්ටුවත් එක්වෙයි

ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව කුසලාන ඩ්‍රැගන් බෝට්ටු තරඟ ඊයේ (3දා) බත්තරමුල්ල, කොස්වත්ත, දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සාර්ථකව අවසන් විය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ එක්ව මීට අදාළ උත්සවය පවත්වන ලද අතර ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රථම ඩ්‍රැගන් බෝට්ටු ධාවන තරග ලෙසද මෙම අවස්ථාව ඉතිහාසයට එක්වනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව කුසලානය වෙනුවෙන් පැවැති ජ්‍යෙෂ්ඨ අංශයේ තරග ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්කළ ශ්‍රී ලංකා යුද හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් දිනාගත් අතර කනිෂ්ඨ අංශයේදී එකමුතු විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් එකමුතු පාසල් කණ්ඩායම පරාජය කරන ලදී.
මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ඩ්‍රැගන් බෝට්ටු තරඟ ප්‍රවර්ධනය කිරීම සඳහා සත්කාරක හවුල්කරුවෙකු ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර චීනය විසින් ඩ්‍රැගන් බෝට්ටුවක් ශ්‍රී ලංකා ඔරුපැදිමේ සංගමයට පරිත්‍යාග කරනු ලැබිමද මෙම උළෙලේදී සිදුවීමද විශේෂත්වයකි.
ඩ්‍රැගන් බෝට්ටුව යනු දුන්න මත මකරාගේ හිස සහිත නිර්මාණය කොට දිගු හා සිහින් ඔරුවක් බඳුය. සෑම බෝට්ටුවකටම හබල් ගසන ඔරු කරුවන් 10 දෙනෙකු, බෙර වාදකයෙකු සහ නියමු නාවිකයෙකු ඇතුළත් වන අතර, ඔරු කරුවන් තරඟයේදී බෙර වාදකයා විසින් වයන ලද බෙර රිද්මයට අනුව කඩිමුඩියේ ඔරුව ඉදිරියට ගෙනයමින් තරග වදිනු ඇත.
ඩ්‍රැගන් බෝට්ටු උත්සවය යනු ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව මැයි අග හෝ ජූනි මාසයේ පස්වන චන්ද්‍ර මාසයේ පස්වන දිනට යෙදෙන චීන සංස්කෘතියට අනුව පවත්වන සම්ප්‍රදායික උත්සවයකි. තවද මෙම උළෙල ඉහළම සම්ප්‍රදායික චීන උත්සව හතරෙන් එකකි.මෙම වසරේ මෙම බෝට්ටු උත්සවය ජුනි 3 (සිකුරාදා) දිනට යෙදී තිබුන අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේදී ඊයේ මෙම උත්සවය පැවැත්වීමද සිදුවූ බවද පැවැසේ.ඊයේ මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී
ලංකාවේ චීන තානාපති කුයි ෂෙන්හොං, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ශ්‍රී ලංකා ඔරුපැදීමේ සංගමයේ හිටපු සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ඔරුපැදීමේ සංගමයේ සභාපති දිමුත් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය සහ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් හා නිලධාරිනියන් රැසක්ම සහභාගී වූහ.