සංගාට පෙම් බැඳි ඩේල් ස්ටේන්ගේ නොඇසූ කතාව

සංගක්කාරට කවුරුන් හෝ අකමැතියි කියන්න මොකක්ද තියෙන හේතුව?

තද නිල් පැහැති අත් දිග කමිසයක වැළමිට තෙක් අත් නවා, බටර් පාට කලිසමක් ඇඳ, ඊට ගැලපෙන සපත්තු යුගලයක් පැළඳ, අගිස්ස හරියෙන් අඟල් දෙකක් පමණ යම්තම් දිගට වැවී තිබුණු කොණ්ඩයට ගැටයක් දමා, කමිසයටත් කලිසමටත් ගැලපෙන අයුරින් බටර් පැහැති තොප්පියකින් හැඩ වැඩ වී තිබූ ඔහුගේ වම් අතේ, වැළමිටට මදක් පහළින් ආරම්භ වී තිබුණු පච්චය මැණික් කටුව සමීපය තෙක් පැමිණ අලංකාර නිමාවක් ගෙන තිබුණි.

මේ සියලූ අංගෝපාංගයන්ගෙන් සැරසෙමින් අප ඉදිරියේ මයික‍්‍රෆෝනයක් ද කැටුව ඒ මේ අත ගමන් කළ ඔහුගේ පෙනුම හොලිවුඞ් නළුවෙකුට සමානය. එහෙත් හේ හොලිවුඞ් නළුවෙකු නොවීය. අද මයික‍්‍රෆෝනයක් අත දරා සිටියද එදා ඒ අතේ රැඳී තිබුණේ පන්දුවයි. අද පියකරු ප‍්‍රසන්න සිනහවකින් සැරසී සිටියද, එදා ඔහු ප‍්‍රතිවාදී පිතිකරුවන් දෙස බැලූවේ දවා ගන්න බැරි නම් ගිලිනවා යන ස්වරූපයක් ආරූඪ කර ගෙනය. එය සුරංගනා කථාවල සිටින රාක්ෂයකුගේ පෙනුමට උදාහරණ ලෙස පොඩි දරුවෙකුට පෙන්විය හැක.

ඔහු අන් කවුරුත් නොව දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක ඬේල් ස්ටේන් වේ. ටෙස්ට් සහ එක් දින තරග යන අංශ දෙකෙහිම ලොව අංක 1 පන්දු යවන්නා බවට බොහෝ කලක් එම ස්ථානයේ සිය ආධිපත්‍යය රඳවා ගෙන සිටි ස්ටේන් දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් දවා ගෙන ඇති ටෙස්ට් කඩුලූ සංඛ්‍යාව 439කි. එක් දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ කඩුලූ 196ක්ද දවා ගෙන ඇති ඔහුගේ නම ඉදිරියේ ලියවුණු පන්දු වාර 20- 20 කඩුලූ ගණන 64කි.

මෙවර පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින ඬේල් ස්ටේන් ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක් මෙහි දැක්වේ.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතුව මේ වන විට සිටින වේග පන්දු බලඇණිය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – ඔවුන් ඉතා වේගවත්. ඔවුන් ඉදිරියේදී මීට වඩා දස්කම් දක්වාවි. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාව යනු වේගවත් පන්දු යවන්නන්ට ප‍්‍රසිද්ධියක් ඉසිලූ රටක් නොවේ. මා මේ කියන දෙය වරදවා වටහා ගන්නට එපා. ලසිත් මාලිංග දක්ෂ පන්දු යවන්නෙක්. ඔහුගේ දක්ෂතා අසමසමයි. ඒත් ඔහු කවදාවත් ලොව වේගවත්ම පන්දු යවන්නා වුණ් නැහැ. මම කියන්නේ ඒකයි. දැන් ඔබේ කණ්ඩායම සතුව සිටින දෙන්නා වේගවත් පන්දු යවන්නන් දෙදෙනෙක්. ඔවුන් පැයට කිලෝමීටර් 145 කට වැඩි වේගයෙන් පන්දු යවනවා. මං එයට කැමතියි. ඔවුන් වේගවත්. ඒත් ඔවුන් පන්දුව පතිත කරන ස්ථානයේ යම් අඩුපාඩු තිබෙනවා. එතනයි ඔවුන්ට වරදින තැන.

ප‍්‍රශ්නය – ඔබ පැයට කිලෝමීටර් 150කට වැඩි වේගයෙන් පන්දු යැව්වා. ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර දෙදෙනා දැන් ඒ වේගයට ආසන්න වෙමින් සිටිනවා. ජාත්‍යන්තර තරග 265කට ආසන්න ප‍්‍රමාණයක් ක‍්‍රීඩා කර ඇති ඔබට මේ පන්දු යවන්නන් දෙදෙනාට ලබා දිය හැකි උපදේශය කුමක්ද?

පිළිතුර – ඔවුන් තවම තරුණයි. පන්දු සංකලනය ගැන ඔවුන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි. එකල තරුණ පන්දු යවන්නෙකු ලෙස මගේ අතිනුත් මේ අඩුපාඩුව සිදු වුණා. එදා මම හිතුවෙත් වේගය ගැන විතරයි. ඒත් වේගයම නොවේ කඩුලූ දවා ගැනීමේ රහස. මේ දෙදෙනා අතරින් දුෂ්මන්ත චමීර පන්දුව දෝලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඔහුට ඒ හැකියාව තිබෙනවා. ලහිරු කුමාර තමන් විසින්ම තම අඩුපාඩු නිවැරදි කර ගනියි. ඒ වගේම දකුණු අප‍්‍රිකාව වැනි රටක ක‍්‍රීඩා කරන විට ලහිරු මීට වඩා හොඳින් දස්කම් පෙන්වයි. එරට තිබෙන වේගවත් තණතීරුවේ ලහිරු ප‍්‍රතිවාදීන්ට ලොකු අභියෝගයක් වෙයි.

ප‍්‍රශ්නය – ඔබ දකුණු අප‍්‍රිකාව නියෝජනය කරමින් සිදු කළ පළමු සංචාරය ශ‍්‍රී ලංකාව සමගයි…

පිළිතුර – ඔව්. ඒ 2004 වසරේදී. දකුණු අප‍්‍රිකා ‘ඒ‘ කණ්ඩායම සමග මම ශ‍්‍රී ලංකාවට ආවා. ඒ නිසා මට ඔබේ රට පිළිබඳව ලොකු මතකයක් තිබෙනවා. ඒ මම දකුණු අප‍්‍රිකාවෙන් නික්මුණු පළමු අවස්ථාවයි. විවිධ වර්ගයේ රස ආහාර කෑමට අවස්ථාව ලැබුණා. ඒ වගේම විවිධ ස්ථානවලට ගියා. කොළඹ ලොකු වෙළෙඳ සැලකට ගොස් ඞීවීඞී ගොඩක් මිලට ගත්තා. ඉන් ඇතැම් ඒවා එච්චර වැදගැම්මකට නැහැ. ඒත් මම ඒවත් දා ගත්තා.

එම සංචාරයේදී අපි නුවරත් ගියා. ගාල්ලටත් ගියා. ඒ ස්ථාන හරි ලස්සනයි. නුවර යනවිට අපි ලොකු ඇබැද්දියකටත් මුහුණ දුන්නා. අපි ගිය බස් එක කාර් එකක හැපී අනතුරකට ලක් වුණා. අපේ කාටවත් හානියක් වුණේ නැහැ. ඒත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් අනතුරෙන් තුවාල ලැබුවන් අතර සිටියා. ඊට පසුව අපි එදා නුවර ගියේ කොළඹ නුවර මඟී බස් එකක. නුවර අපි නවාතැන් ගත් හෝටලයේ ජනෙල් කවුළුව ළඟට ආවාම එහා පැත්තෙ එහා මෙහා යන අලි පේනවා. හරිම සුන්දරයි.

ඒ වගේම ගාල්ල අවට තිබෙන මුහුදු වෙරළ අපේ සිත් ඇද ගත්තා. ගාලූ කොටුව විශිෂ්ටයි. ගාලූ ගියහම මුහුදු වෙරළට යන්න අමතක කරන්නේ නැහැ. ශ‍්‍රී ලංකාවෙදි අපි තරග දිනලත් තිබෙනවා. පැරදිලත් තිබෙනවා. ඒ කොහොම වෙතත් ඔබේ රට හරිම සුන්දරයි. මම සංචාරය කර තිබෙන රටවල් අතරින් බටහිර ඉන්දීය කොදෙව් සහ ශ‍්‍රී ලංකාව තමයි ලස්සනම.

‘සංගා’තරම් මිතුරෙක් නොමැත මට ලොවේ…

ප‍්‍රශ්නය – ඔබ නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියේ 2016 වසරේදී …

පිළිතුර – ඔව්. ඒ සංචාරය සුවිශේෂී එකක් වුණා. අපිට ඔබට පමණක් නොවේ මුළු ක‍්‍රිකට් ලෝකයටම. මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර දෙදෙනා එකතුව ලොව ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාව පිහිටවූයේ එම සංචාරයේ පළමු තරගයේදියි. මම හිතන්නේ මහේල ලකුණු 400කට ආසන්න සංඛ්‍යාවක් සහ සංගක්කාර ලකුණු 300කට ආසන්න ප‍්‍රමාණයක් ලබා ගත්තා. ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 700 ඉක්මවා ගියා.

ප‍්‍රශ්නය – ඔබ එහිදී සනත් ජයසූරිය සහ උපුල් තරංගගේ කඩුලූ දවා ගත්තා නේද?

පිළිතුර – ඔබ හරි. එපමණක් නොවේ. සංගක්කාර ලකුණු 10 සීමාවට ඒමට පෙර මගේ පන්දුවක් ඔහුගේ කඩුල්ලේ වැදුණා. ඒත් දකුණු අප‍්‍රිකාවෙත් මගෙත් අවාසනාවට ඒ පන්දුව නිපන්දුවක්. ඒ වගේම ඒ ඕවරයේම තවත් පන්දු දෙකකට පසුව සංගක්කාර උඩ පන්දුවක් දුන්නා. වාසනාව සංගක්කාර වෙත තිබුණා. ජැක් රුඩොල්ෆ් ඒ උඩ පන්දුව අත හැරියා. ඔවුන් ලෝක වාර්තාවක් තැබුවා.

හැබැයි ඒ කාලයේ මම පන්දු යැව්වෙත් දැන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා පන්දු යවන ආකාරයට සමාන විදිහකින් තමයි. වේගය තමයි අවිය වුණේ. ඒක සමහර වෙලාවට හරි. සමහර වෙලාවට වරදිනවා. ඒත් වේගයට වඩා දෙයක් මෙතන තිබෙනවා.

ප‍්‍රශ්නය – වසර 10 කට වැඩි කාලයක් ඔබ දකුණු අප‍්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කර තිබෙනවා. ඔබට ලක්ෂ සංඛ්‍යාත පුද්ගලයන් හමු වෙලා ඇති. ඒ වගේම ඔබට දෙස් විදෙස් විශාල මිතුරු සමාගමක් ඇති. ඒ අය අතරින් ඔබේ සිත ගත් ක‍්‍රිකට් මිතුරා කවුද?

පිළිතුර – ඒ වෙන කවුරුන්ද , ඔබෙ රටේ සංගක්කාර හැර. ඔහු තමයි මේ ක‍්‍රිකට් ලෝකයේ කදිම මිනිසා. මට හමු වූ මිනිසුන් අතරින් ඔහු තමයි ප‍්‍රිය මනාපම පුද්ගලයා. සංගක්කාරට කවුරුන් හෝ අකමැතියි කියන්න මොකක්ද තියෙන හේතුව? ඔහුට කවුද අකමැති ? මා මේ ලෝකයේ ප‍්‍රිය කරනම පුද්ගලයා තමයි සංගක්කාර.

ප‍්‍රශ්නය – ඔබට මතකද මුලින්ම සංගක්කාර හමු වූ අවස්ථාව ?

පිළිතුර – ඔහු එංගලන්තයේ ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට ආවා. මමත් සංගක්කාරත් දෙදෙනාම එහිදී වෝක්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කළා. එතැන් පටන් බොහෝ අවස්ථාවල අපි දෙන්නා එකම කණ්ඩායම නියෝජනය කළා. සන්රයිසස් හයිද්‍රාබාද්, ඩෙකෑන් චාර්ජර්ස්, ජැමෙයිකා කණ්ඩායම මේ හැම අවස්ථාවකම අපි එකට ක‍්‍රීඩා කළා. අපි එකිනෙකාට ගරු කළා. දැනුම, අත්දැකීම් බෙදා හදා ගත්තා. ඒ වගේම දෙරට නියෝජනය කරද්දී අපි අතර ලොකු තරගයක් තිබුණා. ඔහු අපිට සිටිය ලොකුම ප‍්‍රතිවාදියෙක්. ඒත් අපි අතර කවදාවත් සිත් රිදවන දෙයක් සිදු වෙලා නැහැ. ඔහු අපට එරෙහිව ශතකයක් ලබා ගත්තත් එය බලන් ඉන්න ආසයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාවේ එල්පීඑල් ක‍්‍රිකට් තරගාවලියේදී 2020 වසරේ කැන්ඩි ටස්කර් කණ්ඩායම ඔබ නියෝජනය කළා. එම තරගාවලිය ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – ඒ තරගාවලියට ක‍්‍රීඩා කරන්න මම තවමත් කැමැතියි. එල්පීඑල් තරගාවලියේ පිතිකරුවන් හොඳින් දස්කම් දක්වනවා. එහි ක‍්‍රීඩකයින් ගොඩක් නිහතමානියි. ඔළුව උදුම්මාගත් ක‍්‍රීඩකයින් එහි නැහැ. මම ඒකෙන් කියන්නේ නැහැ අනෙක් ප‍්‍රිමියර් ලීග් තරගාවලිවල එවැනි ක‍්‍රීඩකයින් ඉන්නවා කියලා. ඒත් ලංකාවේ කී‍්‍රඩකයින් ගොඩක් නිහතමානීව කටයුතු කරනවා. ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන්ටත් එල්පීඑල් හරහා දියුණු විය හැකියි.

ප‍්‍රශ්නය – මෙවර ලෝක කුසලාන තරගාවලිය ගැන ඔබේ අදහස කුමක්ද ?

පිළිතුර – එංගලන්තය හා පකිස්තානයට හොඳ අවස්ථාවක් තිබෙනවා ලෝක කුසලානය ජය ගැනීමට. ඒත් සමහර වෙලාවට හොඳම කණ්ඩායම ජය ගන්නෙ නැහැ. හොඳම කණ්ඩායමට නරක වෙලාවක් ආවොත් ඔවුන් පරදිනවා. අවාසනාවන්ත ලෙස එවැනි නරක තරග දෙකක් අවසන් පූර්ව තරගවල ක‍්‍රියාත්මක වුවහොත් එම කණ්ඩායම් දෙකට හිස් අතින් යන්න වෙයි. හරිම වේලාවේ උපරිමයට එන කණ්ඩායම කුසලානය ගෙන යයි.

කුෂාන් සුබසිංහ