මැරයන් චමුදිත් මට්ටුකිරීමේ උත්සාහයක

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට අද අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර අහසට වෙඩි තැබීමක්ද සිදුකොට තිබෙන බව වාර්තාවේ.
පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම 2.00 ට පමණ පැමිණි සිව්දෙනෙකු ගෙන් සමන්විත පිරිසක් විසින් තමා පදිංචි නිවසට අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවද අප කළ විමසීමකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැවැසිය.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම මැර පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා ඉන් එක් අයෙකු එම ගේට්ටු ආරක්ෂකයා සමඟ නවතා අනෙක් තිදෙනා මෙම ප්‍රහාරය සඳහා නිවස වෙත පැමිණ ඇති බවද පැවැසේ.
මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට මුදිත සමරවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.
මෙම අවස්ථාව වන විට තමා සමඟ තම බිරිඳ හා දියණිය නිවසේ සිටි බවත් නින්දෙන් අවදිවූ තමාට වහළට වැදුණ විශාල ශබ්දයන් මෙන්ම වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බවද චමුදිත පවසා සිටියා.
තමන් හදිසි දුරකථන දැනුම් දීම් සේවාව ඔස්සේ වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුනොවූ බවත් නිවස සහ අදාළ පරිශ්‍රයට යම් අලාභ හානි සිදුවී ඇති බවත් වැඩිදුරටත් පැවැසේ.

චමුදිතගේ නිවස වෙත පැමිණි මැරයන් ගල් මුල් ප්‍රහාරයන් සහ අසූචි ප්‍රහාරයන් එල්ල කර ඇති ආකාරය පහත ඡායාරූප වලින් දැකගත හැකිය.