මෙරට සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයින්ගේ වීසා දීර්ඝ කරයි

සංචාරකයින් ලෙස පැමිණ මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින රුසියානු සහ යුක්රේන ජාතීන්ගේ වීසා කාල සීමාව තවදුරටත් දිර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලයට කරන ලද යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇති අතර රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වෙමින් පවතින යුධමය තත්වය නිසා ඔවුන්ට තම රටවල් බලා නැවත යාමට අපහසු තත්වයක් උද්ගතව තිබීම එම යෝජනාවට අනුමැතිය ලබා දීමට හේතුව බවද පැවැසේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තොරතුරු වලට අනුව මේ වන විට රුසියානු සංචාරකයින් 11463ක් සහ යුක්රේන් සංචාරකයින් 3993 දෙනෙකු මෙරට තුළ රැඳී සිටින බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් රුසියානු-යුක්රේන යුධ ගැටුම් නතර කිරීමේ අරමුණින් බෙලරුස්හිදී සාම සාකච්ඡා ආරම්භ කළද එම සාකච්ඡා විසඳුමකින් තොරව නිමාවට පත්වූ බවද වාර්තා වේ. එහෙත් රුසියාව පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී නැවතත් හමුවී සාකච්ඡා කිරීමටද දෙපාර්ශ්වයම එකඟ වූ බවයි.