හිරුණිකාට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ. තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10 වැනිදා) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් මෙලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිඥවරයෙක් ද පෙනී නොසිටි බවට වාර්තා වේ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කළේය.