අපි තුනම ෆේල් – පරාජයෙන් පසු කියයි දසුන්

  • අසේල විතාන

ඉන්දියානු ප්‍රහාරාත්ම පිති ප්‍රහාරය හමුවේ ඇද වැටුණු ශ්‍රී ලංකාව ලක්නව් හී පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 62 ක පරාජයක් අත්වින්දේය. පරාජයට හේතුව පිතිකරණ, පන්දු යැවීම සහ පන්දු රැකීම අංශ තුනම ඉතාම දුර්වල මට්ටමේ තිබූ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයෙන් පසුව පැවසීය.
“ඉන්දිනු පිතිකරුවන් ලස්සනට පන්දුවට පහර දුන්නා. අපේ ප්‍රධාන දග පන්දු යවන්නා වන වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ නැතිව අපි තරග කළේ අලුත් ක්‍රීඩකයන් සමග. ඔවුන්ට වැඩි පළපුරුද්දක් නැහැ. බලාපොරොත්තුවෙනවා චරිත් අසලංක තරගාවලිය පුරාවටම ඔහුගේ භූමිකාව ඉදිරියට රැගෙන යයි කියලා.’ යනුවෙන් දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඉන්දියානු කණ්ඩායම ලබාගත් ලකුණු 199 න් ලකුණු 89 ක්ම ලබාගත් ආරම්භක පිතිකරු ඉෂාන් ක්‍රිෂන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. පන්දු 56 කදී හයේ පහර තුනකින් සහ හතරේ පහර දහයකින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ඉෂාන් තරගයෙන් පසුව පවසා සිටියේ මෙවැනි අදහසකි.
“පසුගිය තරග කිහිපයේදීම මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. මහේ අභිප්‍රාය ශ්‍රේෂ්ට නොවුණත් මම මෙම තරගයේදී සරව ක්‍රීඩා කිරීමට උත්සහ කළා. මගේ ප්‍රියතම පහර තමයි පුල් පහර. මගේ අදහස වුණේ මිඩ් විකට් වල තියෙන හිඩැස් වලට පහරදීමටයි. ඒක සාර්ථක වුණා.”

ශ්‍රී ලංකා පිතිකරුවන් නීරස වෙස්දී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් විය. නවක ක්‍රීඩක කමිල් මිෂාර පන්දු 12 කදී ලකුණු 13 ක්ද අංක තුන නවක පිතිකරුවා වු ජනිත් ලියනගේ පන්දු 17 කදී ලකුණු 11 ක්ද ලබා ගත්තේය. කෙසේ වෙතත් උපනායක චරිත් අසංලක පන්දු 47 කදී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 53 ක් ලබා ගත් අතර චාමරික කරුණාරත්න ලකුණු 21 ක් ලබා ගත්තේය.

ලකුණු තත්ත්වය
ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 2ට ලකුණු 199 යි. (රෝහිත් ෂර්මා 44, ඉෂාන් ක්‍රිෂාන් 89, ශෙයර් අයියර් නොදැවී 57, ළහිරු කුමාර 43/1 දසුන් ශානක 19/1 යි.
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 137 යි. (කමිල් මිෂාර 13, චරිත් අසංලක 53, චාමික කරුණාරත්න 21, දුෂ්මන්ත චමීර 24, බුවනේෂ් කුමාර් 9/2, අයියර් 36/2 යි.)