අරවින්ද, මහේල, සංගක්කාර ‘ෆේල්’

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවුණු විශිෂ්ට ගණයේ පිතිකරුවන් තිදෙනෙකු සහ නායකයන් තිදෙනෙකු වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන තිදෙනාම මේ වනවිට ඔවුන් ක්‍රීඩාව සම්බන්ධයෙන් දරන තනතුරුවලින් දැඩි අසමත් භාවයක් පෙන්නුම් කර තිබේ.
මෙහිදී අරවින්ද ද සිල්වා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත් කළ ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා වන අතර, මෑතකාලීනව ක්‍රීඩක විනය පිරිහීම, ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් සම්බන්ධ ගැටලුව සහ ක්‍රිකට් මෙතරම් පහල අඩියකට වැටීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන පුද්ගලයාද වේ. මීට අමතරව මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අතර, ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට වඩා ලෝකයේ තිබෙන ලීග් ක්‍රිකට් තරගාවලි (ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, හන්ඩ්‍රඩ් තරගාවලිය වැනි විශාල මුදලක් ගෙවන තරගාවලි) සඳහා පුහුණුකරුවෙකු ලෙස සහ උපදේශකයෙකු ලෙස එක්වෙමින් මුදල් හම්බ කිරීමට ප්‍රමුඛත්වය ලබාදීම කනගාටුවට කරුණකි.
කුමාර් සංගක්කාරද ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ මෙන්ම ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වන අතර ඔහුද මෙරට සිටිනවාට වඩා සිටිනුයේ විදෙස්ගතාවයි. පෞද්ගලික ලීග් තරගාවලි, ව්‍යාපාරික කටයුතු සඳහා ඔහුව වැඩි කාලයක් යොදවන අතර, මේ හේතුව නිසාම මොවුන් තිදෙනාටම අද වනවිට ක්‍රීඩාව සංවර්ධනයට අදාලව වැය කිරීමට ලැබෙන කාලය අල්ප වී තිබේ. කොටින්ම කියනවා නම් මොවුන් දරන තනතුරුවලින් ඔවුන් දැඩි ලෙස ‘ෆේල්’ වී තිබේ.
පුහුණුකරුවන්ට ජාතික ක්‍රීඩා සභාවේ තනතුරු දැරිය නොහැකි බවට මෙරට නීතියක් තිබියදී පවා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එම නීති තඹ සතයකට මායිම් නොකර තනතුරුවල එල්ලී සිටීම කනගාටුවට කරුණකි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හෝ අනෙකුත් ක්‍රීඩා නැංවීමට තමාගේ ප්‍රතිපත්ති අසමත් වී ඇති බව දැන්වත් මේ තිදෙනා තේරුම්ගත යුතුය. එහෙම නොවුනහොත් අපි නේපාලය වැනි ටෙස්ට් වරම් නැති රටවලින් පවා අන්ත පරාජයක් ලැබීම සක්කරයටවත් වැළක්විය නොහැකි බව තේරුම්ගත යුතුය.