අර්ජුන ක්‍රිකට්වල වංචා රැසක් අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් හෙළි කරන ලදි. එම අවස්ථාවේදි අර්ජුන රණතුංග මහතා හැන්ඩ්සාඩිගත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කථාවේ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි. පාර්ලිමේන්තු කථාවේ හඩපටයද අමුණා ඇත.

———————————————————————————————————

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පවතින්නේ ඉතාම දරුණු තත්ත්වයක. නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහ අවසාන වසර දෙක තුළ එය අපිට පැහැදිලිවම පෙනුණා. විශේෂයෙන්ම අයි සී සී ශ්‍රේණි කිරීම්වල එක දෙක තුන සිට අපි දැන් මේ වන විට දරුණු පසුබෑමකට ලක්ව තිබෙනවා. එදා රටවල් අටක් පමණයි ටෙස්ට් ක්‍රීඩා කළේ. අද රටවල් දොළහක් ක්‍රීඩා කරනවා. කෙසේනමුත් මේ තත්ත්වය ඉදිරියට ගියහොත් අයිසීසී පළමුපෙළ කණ්ඩාම් දොළෙහෙනුත් පහළට යාමේ අවධානමක් තිබෙනවා. ඒ ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ රජයේ අවධානය යොමු වීම වැදගත් යැයි මම සලකනවා. අද ජාත්‍යන්තර ජයග්‍ර‍ණවල පිපාසයක් අපේ රටට දැනෙනවා. අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ඉමහත් කීර්තියක් ගෙනදුන් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා ලෝලීන්ගෙන් ඈත් වෙමින් පවතිනවා. එවන් තත්ත්වයක් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුකාරයින්ගෙන් සහ වංචනකයින්ගෙන් බේරා ගැනීමේ සටන වේගවත් කරන්නැයි ක්‍රීඩා ලෝලීන් මගෙන් නොයෙක් වර ඉල්ලා සිටිනවා. අද මම මේ ගරු පාර්ලිමේන්තුවේදී මේ විශේෂ ප්‍ර‍කාශය සිදු කරන්නේ එම හේතුව නිසාබවද ප්‍ර‍කාශ කරනවා.

ගරු කථානායකතුමනි, ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අපට ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. එය අපේ හදවත්වලට සමීප ආගමක් වැනියි. අපේ හදවත්වලට සමීප සංස්කෘතියක්. එහි දියුණුවේ ගමන 1980 දශකයේදී ආරම්භ වන්නේ ගාමිණී දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන්. එතුමා ක්‍රිකට් සභාපති ලෙසට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍ර‍ම ක්‍ර‍මයෙන් දියුණුව කරා ගෙන ඒමට අඩිතාලම සකස් කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා එතුමා නිසල් සේනාරත්න, නීල් පෙරේරා, අනුරුද්ධ පොලොන්නෝවිට, රාජ මහේන්ද්‍ර‍න්, අබු ෆුවාඩ්, ලියෝ විජේසිංහ සහ දහම් විමලසේන වැනි ක්‍රිකට් ක්‍රීඩාවට අවංකවම හදවතින් ආදරය කරන හොරකම් සහ දූෂණය පිටුදකින මහත්මා ගුණයෙන් යුත් පරිපාලකයින්ගේ දායකත්වය ලබා ගත්තා. ලංකාවට ටෙස්ට් වරම් හිමි කර දී ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවකට යොමු කළා.

ගරු කථා නායකතුමනි, ගාමිණී දිසානායක මැතිතුමා අපට ටෙස්ට් වරම ලබා දෙන්නේ 1981වර්ෂයේදී. ශ්‍රී ලංකාව එක් වූ පළමුවැනි ටෙස්ට් තරගය 1982 පෙබරවාරී මාසයේදී ශ්‍රී ලංකාවේදීම පැවැත්වුණා. එතැන් සිට වසර 37ක් ගෙවුණු මේ ඉතිහාසයේදී හිටපු රාජ්‍ය නායකයින්, ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රිකට් පරිපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට කළ සේවාව මම මේ අවස්ථාවේදී අගය කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් දැක්වූ මේ සංවේදී බව නිසාම 1996 වර්ෂයේදී ලෝක කුසලානය දිනා ගැනීමට අපට හැකි වූ බවද මම මේ අවස්ථාවේදී ප්‍ර‍කාශ කරනවා.

ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන ප්‍ර‍ධාන තරගාවලිවල මුදුන් මල්කඩ වන්නේ ලෝක කුසලාන එක්දින පන්දුවාර පනහේ ක්‍රිකට් තරගාවලිය. එය ආරම්භ වන්නේ 1975 වර්ෂයේදී. කෙසේනමුත් ඉතා කෙටි කලකින් ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කලකදීම එනම් 1996 වසරේදී මේ ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට හැකි වුණා. ක්‍රිකට් ක්‍රීඩාව උපන් එංගලන්තයට පවා එවැනි දස්කමක් දැක්වීමට හැකි වුණේ නැහැ. එංගලන්ත කණ්ඩායම පළමුවරට ලෝක කුසලානයක් දිනා ගත්තේ මේ වසරේදී. ඒ නිසා 96 වර්ෂයේදී ශ්‍රීලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීම මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාවක්. මෙම යුගයේදී ආනා පුංචිහේවා මැතිතුමාගේ දායකත්වය මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ ජයග්‍ර‍ණයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් වේගයෙන් ගලා ආවා. ඒ සමඟම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නට නොව ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමන් දියුණුවන්නට මාන බැලූ පිරිසක්ද ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය අත්පත් කර ගත්තා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට සහ ඔට්ටු ව්‍යාපාරයට ගොදුරු කළා.

ගරු කථානායකතුමනි, අපේ රටේ සූදු ව්‍යාපාරය සහ ක්‍රිකට් ක්‍රීඩාව ගැන සඳහන් කිරීමේදී මුලින්ම කියවෙන්නේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නම. ඔහු තම පවුල සූදු ව්‍යාපාරයට ඍජුවම සම්බන්ධ බව මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී පවා පිළිගත්තා. කෙසේනමුත් 2015ට පෙර හිටපු ජනාධිපතිවරුන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරුන් ක්‍රිකට් ක්‍රීඩාව සූදු ව්‍යාපාරයෙන් බේරා ගැනීමට කටයුතු කළා. නීති රෙගුලාසි හඳුන්වා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවට නීතිමය ආවරණයක් දුන්නා. සුමතිපාල මහතා සහ ඔහුගේ මාෆියාව ක්‍රිකට් පරිපාලනයට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරද්දි එස්. බී. දිසානායක, ලක්ෂ්මන් කිරි ඇල්ල, සහ ජීවන් කුමාරතුංග යන හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් අතුරු කමිටු පත් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව බුකීකරණයෙන් සහ දූෂණය වංචාවෙන් බේරා ගත්තා. ඒ නිසාම ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍ර‍හණ ලබා ගැනීමට හැකි වුණා. 2014 විස්සයි විස්ස ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම එයින් එක් වැදගත් ජයග්‍රහණයක්. 1996 සිට 2015 දක්වා කාලයේදී ලෝක තරගාවලි හතක අවසන් තරගවලට පිවිසීමටත් අපට හැකි වුණා. කෙසේනමුත් මේ තත්ත්වය 2015න් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ගරු කථානායකතුමනි, 2015 ජනවාරි අටවැනිදා විප්ලවය සමඟ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු ක්‍රීඩා ලෝලීන් එක්ව සිටියා. ක්‍රිකට් ක්‍රීඩකයින් පරිපාලකයින් එක්ව සිටියා. යහපාලන සිද්ධාන්ත මත ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාව වුණා. නමුත් මේ යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් බුකීකරණයටම ගොදුරු වීම බව මම ප්‍රකාශ කරනවා. 2015න් පසුව අපිට ජාත්‍යන්තර ජයග්‍ර‍හණ අහිමි වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාශීල්ත්වය ජීව ගුණය නැති වුණා. තරගපාවා දීම් එළිපිටම සිදු වුණා. කළුතර – පානදුර තරගයේ තරග පාවාදීම ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මණ්ඩලයේ උප ලේකම් වූ රවීන් වික්‍රමරත්නගේ මැදිහත්වීමෙන් සිදුවුණා. ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහළම සිටි සිම්බාබ්වේ කණ්ඩායමට පවා සැක කටයුතු ලෙස පරාජය වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ අත්තිවාරම වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා. එස්. සී. සී. සහ එන්. සී. සී. වැනි වැදගත් ක්‍රීඩා සමාජවලට ලබා දෙන මුදල් කපා හැරියා. ක්‍රීඩකයින්ගේ පෝෂ්‍යදායි ආහාර පවා කපා හැරුණා. කණ්ඩායමේ ස්ථාවරත්වක් නැති කෙරුණා.

ගරු කථානායකතුමනි, මේ අවුරුදු හතරට නායකයෝ හත් දෙනක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් කර තිබෙනවා. කළමනාකරුවන් 5 දෙනෙක් පත් කෙරුණා. පුහුණුකරුවෝ 4දෙනෙක් පත් කෙරුණා. කණ්ඩායම් හැඟීම නැති කළා. ඉතාම කණගාටු දෙය නම් ජාතික කණ්ඩායමේ නිල ඇඳුමේ සිංහ ලාංඡනය ඉවත්කර කැස්බෑවකුගේ ලාංඡනයක් දැමීම. මෙසේ සිංහයාගේ ලාංඡනය ඉවත් කර කැස්බෑවකුගේ ලාංඡනය නිල ඇඳුමට යෙදුවේ ඇයිදැයි ප්‍රශ්න කළ විට, එම නිල ඇඳුම වෙරළට එකතුවන පොලතින් අපද්‍රව්‍ය ආශ්‍රයෙන් සාදා ඇති බවත් එම අපද්‍රව්‍යවලින් වැඩිම හානියක් වනුයේ කැස්බෑවට බවත් එමනිසා කැස්බෑවාගේ ලාංඡනය නිල ඇඳුමට යෙදූ බවත් ප්‍රකාශ කෙරුණා. මේ කුමක් කීවත් සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා. ඉදිරියේදී කැස්බෑවගේ ලාංඡනය ඉවත් කර රේස් අශ්වයකුගේ ලාංඡනය දායිද කියලත් සැකයක් තියනවා. ඒතරමට වත්මන් ක්‍රිකට් පරිපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශය කරා ගෙන යමින් තිබෙනවා.

ගරු කථානායකතුමනි, වත්මන් යහපාලන ආණ්ඩුවේ දූෂිතම ක්‍රීඩා ආයතනය ක්‍රිකට් ආයතනය බව මම පවසනවා. 2015න් පසුව සුමතිපාල පාර්ශ්වය ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන්නෙම දූෂණයට සහ වංචාවට හොරකම අවශ්‍ය පසුබිම සකස් කර ගනිමින්. 2015ට පෙර ක්‍රීඩා නීතිය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික තනතුරට පත් විය හැක්කේ වරලත් ගණකාධිකාරිවරයකුට පමණයි. නමුත් 2015න් පසුව මේ ක්‍රීඩා නීතිය ගිණුම් ලිපිකරුවකුට (Accountant Clark) වුවද දැරිය හැකි ලෙස වෙනස් කර ගනු ලැබුවා. ඒ නීතිය මතින් සුමතිපාල පාර්ශ්වය කිසිඳු සුදුසුකමක් නැති ෂම්මිද සිල්වා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලෙසට පත් කර ගත්තා. එපමණක් නොව ගිණුම්කරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් සහ දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති, වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ, මූල්‍ය අංශයේ ප්‍ර‍ධාන කළමනාකාරිනිය සහ කළමනාකරුන් දෙදෙනා සුමතිපාල පාර්ශ්වය විසින් අකාරුණික ලෙස ඉවත් කෙරුණා. ඒ වෙනුවට හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ ලක්බිම පුවත්පතේ සේවය කළ පුද්ගලයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය භාර දුන්නා. එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචාව දූෂණය හොරකම වේගවත් වුණා.

ගරු කථානායකතුමනි, 2015 සිට මේ දක්වා සුමතිපාල පාර්ශ්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ හොරකම්, වංචා දූෂණ අප්‍ර‍මාණයයි. ඒ අතරින් තරග විකාශන අයිතින්වලින් මුදල් ගසා කෑම ඉදිරියෙන්ම තිබෙනවා. නිමාවූ ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය හිමි කර ගෙන තිබුණේ සෝනි සමාගම. එම සමාගම විසින් එකී තරග විකාශන අයිතිය මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුළු මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම පහක් එනම් රුපියල් රුපියල් කෝටි 89ක පමණ මුදලක් හොංකොංවල පෞද්ගලික ගිණුමක් හරහා හොරකම් කිරීමට ගත් වංචනික උත්සාහයක් සැකයෙන් තොරව දැන් අනාවරණය වී තිබෙනවා.

හොංකොංවල එම පෞද්ගලික ගිණුමට මේ රුපියල් කෝටි 89ක මුදල බැර කිරීමට සෝනි සමාගමට උපදෙස් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය මෙහෙයුම් කළමනාකරුගේ රාජකාරී ඊමේල් ලිපිනයෙන්. හොංකොංහි බැංකු ගිණුම “ෆන්යා සිලූ” නැමැති සමාගමකට අයත් බවත් එහි හිමිකරු චීන ජාතිකයකු බවත් තනිපුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් එම සමාගම දැන් වසා ඇති බවත් අනාවරණය වෙනවා. කෙසේනමුත් මේ වංචාව යට ගැසීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පත් කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මේ ගරු සභාව නොමඟ යැවීමේ ප්‍ර‍කාශ නිකුත් කළ බව පෙනෙන්නට තිබෙනවා.

පසුගිය මාර්තු 18 වැනි දින මේ ගරු සභාවට පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 5යි දශම පහ එනම් රුපියල් කෝටි 89ක පමණ මුදල හොංකොංවල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙසට උපදෙස් දුන් ඊමේල් පණිවිඩය සයිබර් ප්‍ර‍හාරයක් නිසා සිදු වන්නට ඇති බවත් විදෙස් ගිණුමකට මුදල් ගියේ නම් ඒවා නැවත ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවද පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසා තිබුණා. නමුත් එම ඊමේල් පණිවිඩය සයිබර් ප්‍ර‍හාරයක් නිසා සිදුවූවක් නොව හිතාමතාම යැවූවක් බව දැනට කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු අංශ ප්‍ර‍ධානී නදීශාන් සූරියආරච්චිගේ මහතා එම ඊමේල් පණිවිඩය තම ස’වර් එකෙන්ම (Server) ගිය බව 2018. 09. 13 වැනිදා ප්‍ර‍වෘත්ති සාකච්ඡාවකදී ප්‍ර‍කාශ කළා.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වංචා කිරීමට උත්සාහ කිරීම සයිබර් ප්‍රහාරයක් නොවන බව තහවුරු කිරීමට තවත් සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම ලෝක ප්‍රකට පරිගණක සමාගම (Microsoft) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියට කිසිදු ආකාරයක අනවසර ඇතුළු වීමක් සිදු නොවූ බව තහවුරු කර තිබෙනවා. එම සමාගමේ මෙරට කාර්යාලයේ කළමනාකරුද අදාල පරීක්ෂණවලින් පසුව එවැනි අනවසර ඇතුළුවීමක් නොමැති බව තහවුරු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වගකීම් දරන මෙරට ප්‍රධාන පෙළේ සන්නිවේදන ආයතනයද ඒබව තහවුරු කර තිබෙනවා. සෝනි සමාගමද මෙරට සිටින සිය නියෝජිතවරිය හරහා තමන්ගේ සමාගමේ පරිගණක මෙහෙයුම් පද්ධතියටද කිසිදු ආකාරයක අනවසර ඇතුළු වීමක් සිදුව නොමැති බව තහවුරු කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, මා පැවසූ මේ සියලු තොරතුරු දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගරු අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අනුව මෙය තිලංග සුමතිපාල මහතා කියන පරිදි සයිබර් ප්‍රහාරයක් නොවන බව ඉතා පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියූ ලෙසින් කිසියම් ගිණුමකට මුදල් බැර වූ විට එය නැවත ලබා ගැනීමේ හැකියාවක් තිබේදැයි මම දන්නේ නැහැ. සමහර විට සිදුවීමට ගිය මේ මුදල් වංචාවේ මහමොළකරු ඔහු විය හැකි නිසාත් හොංකොංහි ගිණුම ඔහුගේ හෝ ඔහුට සමීප කෙනෙකුට අයිති විය හැකි නිසාත් එම මුදල් නැවත ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇති බවට සුමතිපාල මහතා ප්‍ර‍කාශ කරන්නට ඇති.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් විදේශ ගිණුමක් හරහා හොරකම් කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක්. කෙසේනමුත් හොරකම පැහැදිලිව තිබියදීත් හොරා පැහැදිලිව හඳුනා ගත හැකිව තිබියදීත් නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමීව සිදුවීම ගැන මම මගේ කණගාටුව ප්‍ර‍කාශ කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට වගකිව යුතු ආයතනයක්. මේ ආයතනයේ මුදල් සොරා ගැනීමට උත්සාහ කිරීම් පමණක් නොව ඇතැම් විට මේ ආයතනයේ මුදල්වලට වුණු දෙයක් නැහැ.

ගරු කථානායකතුමනි, දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් සෝනි සමාගම මෙරටට ගෙවිය යුතු අවසන් වාරිකය වුණේ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ අසූ හත්දහස් අටසිය හැත්තෑ පහයි ශත හැත්තෑ පහක මුදලක්. ( 1 87 084.75 )රුපියල්වලින් මිලියන 33ක්. මේ අති දැවැන්ත මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍ර‍ධානියාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වූ ගිණුමකට බැරකළ බව සෝනි සමාගම පවසනවා. එම ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ශීර්ෂවල වගකිව යුතු නිලධාරීන්ගේ අත්සන්ද සහිතව ලැබුණු ඉන්වොයිස් පත්වලට අනුව සිදු කළ බවද සෝනි සමාගම පවසනවා.

සෝනි සමාගම සිය ගෙවීම් සිදු කෙරුණු ගිණුම වන්නේ අමෙරිකාවේ බී.බී.වී.ඒ කොම්පාස් බැංකුවේ අංක 67 61 60 38 74 දරණ ගිණුම. සෝනි සමාගම විසින් 2018 වසරේ අගෝස්තු මාසේ දෙවැනිදා එම ගිණුමට මුදල් බැර කර තිබෙන්නේ ඉන්දියාවේ ඩොයිෂ් බැංකුව මගින්. කෙසේනමුත් එම මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ගිණුමකට ලැබී නැහැ. සෝනි සමාගම මුදල් ගෙවූ 2018 වසරේ අගෝස්තු මාසේ දෙවැනිදාම අමෙරිකාවේ බී.බී.වී.ඒ කොම්පාස් බැංකුවේ අබිරහස් ගිණුමේ මුදල් සියල්ලම එළියට ගෙන ගිණුම වසා තිබෙනවා. වෙනත් විදියකින් කියනවා නම් මේ දැවැන්ත මුදලට, රුපියල් මිලියන් තිස්තුනට වුණු දෙයක් නැහැ. එම මුදල කවුරුහරි හොරකම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම කවුරු හරි හොරකම් කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, යහපාලන රජය යටතේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම හොරගුහාවක් බවට පත් වී අවසන්. බුකීකරුවන් සහ සූදුකාරයින් මේ ක්‍රිකට් ආයතනයේ මුදල් තමන්ගේ සුඛවිවරණයට වියදම් කරමින් සිටිනවා. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය විකුණමින් කොමිස් මුදල් පිටස්තර සමාගමකට ලබා දුන්නා. ඒ ගැන තොරතුරු විමසා සිටින විට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් මොහාන්ද සිල්වා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු ප්‍රකාශ කර නොමඟ යැවුවා. නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි කරගත්තේ කිරිබත්ගොඩ රෙදි කඩයක්. ක්‍රිකට් ආයතනය ඒ රෙදි කඩයට සල්ලි දීලා විකාශන අයිතියේ නිෂ්පාදනය තමන්ගේ ගෝලයකුට ලබා දුන්නා. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිරි ගැන්වීමේ ගීතයට පමණක් රුපියල් ලක්ෂ 60ක් වියදම් කළා. ගීතය එළි දැක්වීමේ උත්සවයට තවත් රුපියල් ලක්ෂ 15ක් වැය කළා.

ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට තමන්ට ඡන්දය දුන් 37දෙනකුට වඩා මුදල් ලබා දුන්නා. ක්‍රිකට් ආයතනයේ නම භාවිත කරමින් වීසා ලබා ගත් ඔවුන් නැවත ලංකාවට පැමිණ ඇත්දැයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි මම යෝජනා කරනවා. ඒ වගේම වැඩිමුදලට ප්‍රවේශ පත්‍ර‍මිලදී ගත්තා. නමුත් අපේ රටේ පාසලට ගමේ දරුවන්ට ක්‍රිකට් කී‍්‍රඩාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ.

ගරු කථානායකතුමනි, අවුරුදු හතරමාරක් මේ යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් විනාශ වුණා. ප්‍ර‍වීණ ක්‍රීඩකයින් නොසලකා හැරියා. විශේෂයෙන්ම අනූහයේ ජයග්‍රාහී ක්‍රීඩකයින් හෑල්ලුවට ලක් කළා. අද සනත් ජයසූරිය ක්‍රීඩා තහනමකට ලක්ව සිටිනවා. ඔහු ඒ තත්ත්වයට පත් කළේ කවුද ? ඔහු ඒ තත්ත්වයට පත් වුණේ කාගේ පාලනය යටතේද ? මේ සිද්ධියේ මහමොළකරු කවුද ? සනත් ජයසූරිය වෙනුවෙන් අද ක්‍රිකට් ආයතනය පෙනී සිටින්නේ නැහැ. ඔහු බිල්ලට දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුමතිපාල පාර්ශ්වයේ අය අත පිහදාගෙන ඉන්නවා.

ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. සූදු කාරයින්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. ක්‍රිකට් පරිපාලනය කරන සූදු කාරයොත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදේශයේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 වර්සයේදී රුපියල් මිලියන 55 ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65ක් ලබා දුන්නා. මුළු මුදල රුපියල් මිලියන 120ක්. මෙම හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වයවත් නැති ක්‍රීඩා සමාජයක්. එවැනි සාමාජිකත්වය නැති අයට මුදල් ලබා දීම නීති විරෝධියි. දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ බදුල්ල ක්‍රීඩාංගණයක් හදන්නත් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45ක් දුන්නා. ඡන්දයෙන් පසුව තව මිලියන හැටක් ලබා දී තිබෙනවා. සියල්ලම මිලියන 105ක් වනවා. මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. එම යටි අල්ලස්වල ප්‍ර‍තිඵලයක් ලෙසට තවදුරටත් ක්‍රිකට් ආයතනයට හොරකම් කිරීමේ අවස්ථාව සලසා ඇතිබව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි දොළ පිදේනි දෙමින් ක්‍රීඩා අමාත්‍යවරුන් තමන්ට නතු කර ගැනීම මොවුන්ගේ ක්‍රමවේදය බවත් මට පෙනෙන්න තියෙනවා. ඒ අනුව එවැනි සුළු දේවල්වලට ක්‍රීඩාව පාවා නොදෙන ලෙසද මම සියලු දෙනාගෙන් ක්‍රීඩාවේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මහා සභා රැස්වීමට පෙර සිය විගණන කළ ගිණුම ප්‍ර‍කාශයට පත් කළ යුතුයි. එය ක්‍රීඩා නීතියේ ප්‍රමුඛ කරුණක්. නමුත් පසුගිය මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් ඉදිරිපත් කෙරුණේ නැහැ. වත්මන් ක්‍රිකට් පරිපාලනය හොඹවන සුමතිපාල පාර්ශ්වය එය මඟ හැරියා. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාත් එයට ඉඩ ප්‍ර‍ස්තා ලබා දෙමින් විගණන කළ ගිණුම් වාර්තා ප්‍ර‍කාශ කිරීමට සුමතිපාල පාර්ශ්වයට නොවැම්බර් මාසය දක්වා කල් ලබා දී තිබෙනවා. අද ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වංචා මහා පරිමාණයෙන් සිදු වනවා. එවැනි අවස්ථාවක විගණනය කළ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීමට උදව් දීම පිළිකුලෙන් යුතුව ප්‍ර‍තික්ෂේප කළ යුතු දෙයක් නොවේදැයි මම මේ සභාවට කියා සිටිනවා. කොහාම නමුත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අපේ හොඳ මිත්‍රයෙක්. ඔහුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් ක්‍රිකට් විනාශ කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වනු ඇතැයි මම මේ ගරු සභාවට ප්‍ර‍කාශ කරනවා.

ගරු කථානායකතුමනි, අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන්, අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් මම ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. අවසාන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ සිදුව ඇති වංචා දූෂණ ගැන විමර්ශනය කළ වැරදිකරුවන් හඳුනා ගෙන කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසද ගරු කථානායකතුමනි මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.