අලුත් ක්‍රීඩා පනත ලබන ජනවාරියේ පාර්ලිමේන්තුවට

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය හදන්නත් ආචාර ධර්ම පද්ධතියක්

අලුත් ක්‍රීඩා පනත ලබන වසරේ ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ආචාර ධර්ම පද්ධතියකුත් ඇතුළත් බව අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
‘අපි දැක්කා සමහර මලල ක්‍රීඩිකාවන් ඔලිම්පික් යනවා ‘ස්පයික් දෙක’ ලංකාවේ දාලා. එතකොට ක්‍රීඩා අමාත්‍යවරයාටවත් අමාත්‍යාංශයටවත් ළමයට කියන්න බැහැ සපත්තු දෙක අරන් යන්න කියලා. අද වෙලා තියෙන්නේ මුල ඉඳලා කැඩිච්ච විනය නිසා ළමයි ඔලිම්පික් යනවා සපත්තු දෙක ලංකාවේ දාලා. දැන් වසර ගණනාවක ඉඳලා ජාතික ජයග්‍රහණ ලබන්න විතරයි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මනස හදලා තියෙන්නේ. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන්න මනස හදලා නැහැ. ඔක්කොම නෙමෙයි සමහර ක්‍රීඩකයෝ යන්නේ ට්‍රිප් එකක්. එනිසයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවටවත් ඔවුනට එන්න බැරිවෙලා තියෙනවා. එනිසා ක්‍රීඩා සංගම් නියාමනය කිරීමට අවශ්‍ය පනතක් අපි ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ගෙනෙනවා. ඒ පනතේ ක්‍රීඩකයින්ට ආචාර ධර්ම පද්ධතියක් ඇතුළත් කර තිබෙනවා’ යනුවෙන් පවසා සිටියේය.