කවුරු මොනවා කීවත් විජේගේ පුතා දේශපාලනයට ගෙන එන්නේ නැහැ – හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

කවුරු මොනවා කීවත් තම පුත්‍රයා දේශපාලනයට ගෙන එන්නේ නොමැති බවත් දේශපාලනයට පිවිසෙන බවට පැතිර යන වාර්තා අසත්‍ය බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. ඇය තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියාය.

එහිදී ඇය සඳහන් කරසිටියේ හිටපු ජනප්‍රිය නළුවෙකු මෙන්ම මානව හිතවාදියෙකු වන විජය සහ තමාගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන අතර එය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන බවත් ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් තමාටද නොමැති බවත්ය.

එමෙන්ම විමුක්ති අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළහැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බවද ඇය පවසා තිබිණ.