ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී කාන්තාවක් මරණයට

පදවිය, සී යාය, අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි තරුණ කාන්තාවක් එම මාර්ගය අසල පවත්වා ගෙන යන කළු ගල් වැඩ බිමක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසි වූ කලූ ගලක් හිසේ වැදීමෙන් සිදු වූ මාරක අනතුරකින් මරණයට පත්වී ඇත.

හතරවැනිදා සවස 5.30 ට පමණ සිදුවී තිබෙන මේ සිද්ධියෙන් පදවිය, පරාක‍්‍රමපුර මෛත‍්‍රී මාවතේ පදිංචිව සිටි තිස් දෙහැවිරිදි එක්දරු මවක් වන තිළිණි නිමන්ති රාජපක්ෂ මහත්මිය මරුමුවට පත් විය.

ඇය සිය පියා සහ අවුරුදු එකහමාරක් වයසැති තම දරුවාද සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මේ අනතුරට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පදවිය පොලිසිය පවසන අන්දමට අටේ ඇළ මාර්ගයේ ඔවුන් ගමන් කරමින් සිටියදී එම මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යන කළු ගල් වැඩපළේ කම්කරුවෙකු ගල් වෙඩිල්ලක් පුපුරුවා හැර ඇත.

එම ශබ්දය ඇසී යතුරුපැදිය නවතා තිබෙන ඇය තවත් ගල් වෙඩි පුපුරුවා හැරීමට ඉඩ ඇති නිසා ආපසු හැරී යමුයි සිය පියාට පවසා ආපසු යතුරුපැදිය හරවන්නට උත්සාහ කිරීමත් සමග පුපුරා ගිය තවත් ගල් වෙඩිල්ලකින් විසිවූ කළුගලක් ඇය හිසේ පැළඳ සිටි හිස් වැසුමට පහළින් නළලේ වැදී බරපතළ තුවාල ලබා සිහිසුන්ව එම ස්ථානයේම ඇද වැටී ඇත.

පසුව තවත් පුද්ගලයකුගේ සහයෙන් ඇගේ පියා ඇයව යතුරුපැදියේ තබාගෙන පදවිය රෝහලට රැුගෙනවිත් තිබිණි. රෝහලේ දී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ ඒ වන විට ඇය මියගොස් සිටින බවයි.

ප‍්‍රදේශවාසීන් පවසන්නේ , කළුගල් වැඩපොළේ ගල් වෙඩි පත්තුකිරීමට පෙර , ඒ අසලින් මාර්ගයේ ගමන් කරන අය ඒ ගැන දැනුවත් කිරීම සඳහා කළුගල් වැඩපොළේ වැඩකරන කම්කරුවන් නිසි අයුරින් ආරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකිරීම නිසා එම තරුණ මව අවාසනාවන්ත ලෙස මියගිය බවයි.

ගල් වෙඩි පුපුරුවා හල බව කියන කම්කරුවන් දෙදෙනකු සැකපිට පෙරේදා (04 දා* රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් ඊයේ (05* කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පදවිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතු