කාශ්මීර් ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කරන සියලුම විදෙස් ක්‍රීඩකයන්ට ඉන්දියාව තහනම් වන ලකුණු

Processed with MOLDIV

කාශ්මීර් ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කරන සියලුම විදෙස් ක්‍රීඩකයන්ට ඉන්දියාව තහනම් කරන බවට ඉන්දියාව අනතුරු අඟවා තිබේ. ඉන්දු-පාකිස්තානු දේශ සීමාවේ පාකිස්තානය විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ මුසෆරාබාද්හිදී ආරම්භ වීමට නියමිත පළමුවන කාශ්මීර් ප්‍රිමියර් ලීග් (කේපීඑල්) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම වැළැක්වීම සඳහා මෙලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තර්ජනය කරන බව සංවිධායකයින් සහ ක්‍රීඩකයින් ප්‍රකාශ කර තිබේ.

මෙම තරගාවලිය මෙම මස 06දා ආරම්භ වීමට නියමිත අතර පාකිස්ථානයේ වර්තමාන සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් හයක් තරග කරනු ලබයි. මෙම කණ්ඩායම් සඳහා පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩි, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික්, ෆකාර් සමාන්, ෂදාබ් ඛාන් සහ ඉමාඩ් වසීම් නායකත්වය දරනු ලබති.

කෙසේ වෙතත් ආරම්භක කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිනොගන්නා ලෙස ඉල්ලමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයිසීසී) වෙතද ලිපියක් යොමු කර තිබේ.

ඉන්දියාව අයිසීසීය වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ කාශ්මීරය යනු මතභේදයට තුඩු දුන් ප්‍රදේශයක් බවත් එවැනි එවැනි ප්‍රදේශවල ක්‍රිකට් තරගාවලි සංවිධානය කිරීමට අවසරයක් ලබාදෙන්නේද යන්නයි.

මේ අතරතුර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් දැක්වීමක් ද සිදු කර තිබූ අතර ඔහුට තර්ජනය කළ බවටද චෝදනා කළේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන්නැයි තමාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දිගින් දිහටම බලපෑම් එල්ල වන බවයි.

එමෙන්ම තමන් අදාළ තරගාවලියට ක්‍රීඩා කළහොත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතු සදහා යළි ඉන්දියාවට පැමිණීමට අවසර ලබා නොදෙන බවට ද තමාට තර්ජනය කළ බවද ගිබ්ස් යොමු කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාහ් මෙම අනතුරු ඇඟවීම ක්‍රිකට් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා වන ග්‍රැහැම් ස්මිත් වෙත යොමු කර ඇති අතර ස්මිත් එය හර්ෂල් ගිබ්ස් හට දැනුම් දී තිබේ

මීට අමතරව පාකිස්ථානයේ හිටපු නායක රෂීඩ් ලතීෆ් ද චෝදනා කර තිබුනේ තම ක්‍රීඩකයින්ට තරඟාවලියට සහභාගී වීමට ඉඩ නොදෙන ලෙස බීසීසීඅයි අනතුරු අඟවන බවයි.

මේ වනවිට එම තර්ජන මධ්‍යයේ වුවද දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගාවලියට සහභාගී වන බව දන්වා තිබේ.