සංගක්කාරට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී අලුත් පට්ටමක්

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී (සීපීඑල්) ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සහ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාරට නව තනතුරක් පිරිනමා තිබේ. ඒ එම තරගාවලියට ක්‍රීඩා කරන ‘බාබඩෝස් රෝයල්ස්’ කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරයි. මීට පෙර මෙම කණ්ඩායමේ නාමය දැක්වුණේ ‘බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස්’ වශයෙනි.

එම කණ්ඩායමේ වැඩි හිමිකාරීත්වයක් රෝයල්ස් ස්පෝර්ට්ස් ගෘප් (Royals Sports Group/EM Sporting Holdings Ltd) වෙත හිමි වීම හේතුවෙන් ‘බාබඩෝස් රෝයල්ස්’ ලෙස එහි නම සංශෝදනය කර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ද එම සමූහයයි.

ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන කුමාර් සංගක්කාර බාබඩෝස් කණ්ඩායමේ ද ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයේ වගකීම භාර ගැනීමට නියමිතය.