ජනතාව අතර විහිළුවට ලක් වන ඇමැතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ – බතික් ඇමති දයාසිරි ජයසේකර කියයි

වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කළ එකක් නොවන බවත්, එම ඇමතිධූර නිර්මාණය කිරීම හා ඒවාට ඇමතිවරුන් නම් කිරීම සිදු කළේ බැසිල් රාජපක්‍ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ජනතාව අතර විහිළුවට ලක්වූ මැටි, කුරුඳු ගම්මිරිස් මෙන්ම තමාට ලැබුණු බතික් ආදී රාජ්‍ය අමාත්‍ය ධූර නිර්මාණය කළේද බැසිල් රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
තමා සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් වැඩක් නොගෙන පැත්තකට කර තබා ඇත්තේත් ඔවුන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ආණ්ඩුව පත්කළ කොටසක් නොවන තැනකට පත්කර ඇතැයි ද කීවේය. ආණ්ඩුවට සියලු පක්ෂ එක්කර නොගෙන තනි ගමනක් යාම අපහසු බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකට එක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ගත්තා කියා පසුවදා උදේට සුරබිදෙන පහළ වන්නේ නැතැයි කී දයාසිරි ජයසේකර රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් රටවැසියන් දැනුවත් කළ යුතු බව ද කීවේය. මේ වන විට රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා රටේ ඩොලර් හිඟයක් පවතින බවත්, 2025 වසර වෙද්දී ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 29ක් අවශ්‍ය බවත් පැවසීය.
මෙම ගැටලුව බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි විට විසඳෙයි කියමින් නොසිට ජනතාවට ඇත්ත තත්වය කියා ආර්ථිකය ගොඩගන්න දායක වන්නේ කෙසේද යන්න ඔවුන්ට පැහැදිලි කළ යුතු බවද දයාසිරි ජයසේකර වැඩිදුරටත් පවසා සිටියේය.