පළමුවරට ඇන්ටාක්ටිකාවේ සෙල්සියස් අංශක 20ට වැඩි උෂ්ණත්වයක්… මුහුදු මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යෑමේ අවදානමක්…

අධික ශීතල දේශගුණයක් පවතින ඇන්ටාක්ටිකා අර්ධද්වීපයට අයත් සීමෝර් දුපතේ උෂ්ණත්වය ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙල්සියස් අංශක 20.75ක් දක්වා ඊයේ (14දා ) දිනයේ ඉහළ ගොස් තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව අයිස් ග්ලැසියර්වලින් සමන්විත ඇන්ටාක්ටිකාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෝලීය උණුසුම වැඩි වීම හේතුවෙන් පසුගිය වසර 50ක කාලයේ දී ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් වර්ධනය වී තිබේ. එම කාලයේ දී ඇන්ටාක්ටිකාවේ බටහිර පෙදෙසෙහි පවතින ග්ලැසියර්වලින් සියයට 87ක්ම දිය වීමේ තත්ත්වය සිදු වෙමින් පැවැති බවත් ඉකුත් වසර 12ක කාලයේ දී ගෝලීය උණුසුම නිසා මෙම ග්ලැසියර් දියවීමේ තත්ත්වය වැඩි වී ඇති බවත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කාලගුණ සංවිධානය කියා සිටී.
කෙසේ වෙතත් මේ අයුරින් අයිස් ග්ලැසියර් දිය වීම සිදු වුණහොත් ඉදිරි ශත වර්ෂවලදී ජාත්‍යන්තර මුහුදු මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.